හවුති ක්‍රියාකාරකම්වලට එරෙහිව කලාපයේ ආරක්ෂාවට දායක වෙමින් රතු මුහුද ප්‍රදේශයේ නෞකාවක් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
හවුති ක්‍රියාකාරකම්වලට එරෙහිව කලාපයේ ආරක්ෂාවට දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදාදා ප්‍රකාශ කළේය.
රතු මුහුදේදී ඉරානයේ පිටුබලය ලබන හූති සටන්කාමීන්ගේ ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර නැව් සමාගම් අතර මතුවන කනස්සල්ල මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇත.
හමාස් සංවිධානයට සහය දක්වමින් ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුමට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව හූතිවරු ප්‍රකාශ කරති.
රතු මුහුදේ සිදුවෙමින් පවතින මෙම බාධාව නිසා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වැඩි වී බෙදා හැරීමේ කාලය ප්‍රමාද වී ඇත.
ගෝලීය සැපයුම් දාමයට ඇති වන බාධාව දැනටමත් භාණ්ඩ ප්‍රවාහන පිරිවැය ඉහළ නංවන අතර බෙදා හැරීමේ කාලය දිගු කරයි.
“රතු මුහුදු ප්‍රදේශයේ නැව්වලට හවුති ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනාගමනය අඩාල වී තිබෙනවා. මෙයට මුහුණ දීමට රතු මුහුදේ ගමන් කිරීම වෙනුවට දකුණු අප්‍රිකාව වටා නැව් නැවත ගමන් කළහොත් එය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වැඩි වීමට හේතු වෙනවා. අපි ශ්‍රී ලංකාවෙන් රතු මුහුදට නැවක් යැව්වොත් ඒ නැව සති දෙකක් තබා ගැනීමට ලංකා නාවික හමුදාවට රුපියල් මිලියන 250ක් පමණ වැය වෙනවා.‘‘ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැති ‘ශිල්ප අභිමානී 2023’ අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර නාවික හමුදාවට අයත් නෞකාවක් රතු මුහුදට යැවීම අභියෝගයක් බවත් ඔවුන් මේ වනවිට ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කරමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරන්නේය.
” යෙදවීමට පෙර, අපි සැපයුම් කටයුතු සංවිධානය කළ යුතුයි. මේ ආකාරයේ යෙදවීමක් සඳහා අපට ශක්තිමත් ආයුධ කට්ටලයක් ද අවශ්‍යයයි. රතු මුහුදේ ප්‍රදේශයේ තර්ජන විශ්ලේෂණය කිරීම ඉතා වැදගත්. අපගේ යාත්‍රාවේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධතියක් නිශ්චිත මුර සංචාර කලාප හඳුනා ගැනීම, ඉන්ධන සැපයීම සුරක්ෂිත කිරීම සහ විදේශීය නාවික හමුදා සමඟ සහයෝගීතාවය ඇති කර ගැනීම නැවක් යෙදවීමට පෙර අත්‍යවශ්‍ය අංග වෙනවා,” මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
නාවික හමුදාවට අයත් යාත්‍රාවක් පිටත් කර හැරීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිණ නොමැති බව අවධාරණය කරමින් මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව ඔහු සඳහන් කළේය.
“කෙසේ වෙතත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් අපි නෞකාවක් යෙදවීමට සූදානම් ” ඔහු කීවේය. – ඩේලි මිරර්