අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යාමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියළුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උදා වූ 2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු වූ අවස්ථාවේ දීය..
නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ධජය එසවීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්විණි.
අනතුරුව ජනාධිපති කාර්යාලයේ සියළු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.
මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැති ඇමතිවරු සහ කාර්ය මණ්ඩලය සමඟ තේ පැන් සංග්‍රහයකටද එක් විය.

ඊයේ දිනයේ 2024 වසර සඳහා නව අවුරුදු සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා අභියෝග සහිත, මල් ඇතුරුමකින් තොර දුෂ්කර මගෙහිම තවත් ඉදිරියට යා යුතු බවය.
රට යළි ගොඩනැන්වීම වෙනුවෙන් යන මේ ගමනේ දි සියළු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙන්නේ යැයි කී ජනාධිපතිවරයා දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බව කීවේය.
පසුගිය වසර පුරා ජනතාව කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට හැකිවුන බව ද ජනාධිපතිවරයා සිහි කළේය.







