පක්ෂ නායක රැස්වීමක දී කතානායකවරයා ජනාධිපති ඉල්ලා අස්වීමට සූදානම් බව කී ප්‍රකාශයක් සම්බන්ධව අද කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා අතර තියුණු සංවාදයක් ඇතිවිය. පක්ෂ නායකවරුන් එක්වී පවසන්නේ නම් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක දී කතානායකවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායකවරයා හෙළි දරවු කර තිබිණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාට පවසා තිබුණේ ඒ සඳහා වෙලාවක් ලබා දෙන ලෙසය. එහෙත් මෙම ප්‍රකාශය හෙළිකිරීමත් සමග කතානායකවරයා තමන් එවැන්නක් නොකී බව අද පාර්ලිමේන්තුවේ දී කීවේය. කතානායකවරයා ප්‍රකාශ කළේ විපක්ෂ නායක බොරු කියන බවත්, පාර්ලිමේන්තුවේ 225ම කීවත් ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවන බවත්ය. 113ක බහුතරය හදාගත්තොත් ආණ්ඩුව ඔවුනට ලබා දෙන බවනම් ජනපති කීවේ යැයි කතානායකවරයා කී විට විපක්ෂ නායක කීවේ කතානායක මේ අසුනේ සිටින්නට සුදුසු නැති ටොම් පචයෙක් බවය.
එම තියුණු සංවාදය ඇතිවූයේ මෙසේය.
කතානායක – මේ වනවිට සමාජ මාධ්‍යෙය යනවා ජනාධිපති කතානායකට ප්‍රකාශකර තිබෙනවා කියලා ඉල්ලා අස්වෙන්න සූදානම් කියලා. මම එහෙම කිව්වෙ නෑ. මම කිව්වෙ 113ක් අරන් පෙන්නුවොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා. ඒක අදත් වලංගුයි. කරුණාකරලා 113ක් හදාගෙන යන්න. ජනාධිපතිව ඉල්ලා අස්වෙන්න කියනාන පාර්ලිමේන්තුවෙ 225ටම බලයක් නැති බව තමුන්නාසෙ තේරුම් ගන්න.
විපක්ෂ නායක – ගරු කතා නායක රැස්වීමක්දි , දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මගෙ ඉස්සරහා හිටියෙ. ඔබතුමා එහෙම ප්‍රකාශ කරලා දැන් නැහැයි කියලා කියනවා නම් මට ඔබතුමාට කියන්න සිද්ධ වෙනවා ඔබතුමා කියන්නෙ අසත්‍යයක් කියලා.
කතානායක – නෑ. ඔබතුමා කියන්නෙ අසත්‍යයක්..
විපක්ෂ නායක – නෑ නෑ,.. ඔබතුමා කිව්වා ඒක. අපිත් පුදුම වුනා
කතානායක – ඔබතුමා වැරදි විග්‍රහයක් කරන්නෙ.
විපක් නායක – නෑ නෑ නෑ.. අපිත් පුදුම වුණා. මම මොනවට ද මෙතෙන්ට ඇවිත් බොරු කියන්නෙ.
කතානායක – මං කිව්වෙ 113ක් අරන් පෙන්නුවොත් රජය දෙන්න සූදානම් කියලා
විපක්ෂ නායක – සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක් ඔබතුමා කියන්නෙ.. ඔබතුමා කියන්න ඔබතුමාගෙ කතාවෙදි වැරදුනා කියලා. මම මෙතනදි කිව්වෙ ඉස්පිල්ලක් පා පිල්ලක් නෑර ඔබතුමා කිව්ව දේ.
කතානායක – සම්පූර්ණයෙන් වැරදියි. වැරදි විග්‍රහයක් ඔබතුමා කරන්නෙ.
විපක්ෂ නායක – මම බොරු කියනවා කියල ද කියන්නෙ. ගරු කතානායක තුමනි. මේ වගේ ටොම් පච කතා කියන්න එන්න එපා.
කතානායක – තමුන්නාසෙයි ටොම්පච කතා කියන්නෙ.
විපක්ෂ නායක – තමුන්නාසෙ කතානායක නෙමෙයි පචයෙක් එහෙනම්. පචයෙක්. බොරු කියන්න එන්න එපා.
කතානායක – තමුන්නාසෙ බොරු කියන්න එන්න එපා.
විපක්ෂ නායක – ඒ කතාව කියනකොට මගෙ ඉස්සරහ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා හිටියා. ඔබතුමා කියපු කතාව මම ආයෙ කියන්නම්. මේ සභාවේ පක්ෂ නායකවරු කියනවා නම්, විපක්ෂයේ නායකවරු කියනවා නම් විවිධ පක්ෂ නියෝජනය කරන ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙනවා කිව්වා.
කතානායක – එකසිය දහ තුනක් තියනවා නම්…
විපක්ෂ නායක- එකසිය දහ තුනක් ගැන කිව්වෙ නෑ. එකසිය දහතුන කොහොමටත් තියනවා. බය වෙන්න එපා. 113 ඉස්සරහට පෙන්වන්නම්. ඒක ගැන බය වෙන්න එපා. ඔබතුමා කිව්වෙ ඒක නෙමෙයි. පක්ෂ නායකවරු ඔක්කොම ගිහින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළොත් ජනාධිපති තුමා ඉල්ලා අස්වෙන්න ලෑස්තියි කියලා ඔබතුමා කිව්වා. ඊට පස්සෙ මම ඔබතුමා කිව්වා වෙලාවක් අරන් දෙන්න කියලා. කොහොම ද ඔබතුමා මෙහෙම පච කියන්නේ.
කතානායක – ඔබතුමා කරන්නෙ වැරදි විග්‍රහයක්.
විපක්ෂ නායක – ඔබතුමා ඔය පුටුවට නිග්‍රහ කරන්න එපා. මම පැහැදිලිව කියනවා. ඔබතුමා ටොම් පචයක් කියන්නෙ.
කතානායක – තමුන්නාසෙත් ටොම් පචයක් කියනවා කියලා මං කියනවා.
විපක්ෂ නායක – ගරු දිනේෂ් ගුණවර්ධන මැති තුමා. ඔබතුමාටත් ඇහුනනෙ එතුමා කියපු දේ. ඔබතුමා නැගිටලා කියන්න මං බොරුවක් කියන්නෙ කියලා. ( දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා නිශ්ශබ්දයි) … කතානායක තුමා. ඔබතුමා හිතුව ද ඔබතුමා කියපු දේ විකෘති කරලා මෙතෙන්ට ඇවිත් කතා කරන්න මං මෝඩයෙක් කියලා. අනේ නිකම් ඉන්න කතානායක තුමා. නිකම් බොරු කතා රකන්න එපා.
කතානායක -දැන් ඕක ඔතනින් නවත්වන්න.







