රඹුක්කන පොලිස් ඝාතනයන් දක්වා දුර දිග ගිය රඹුක්කන සමූපකාර පිරවුම්හලට ඉන්ධන රැගෙන පැමිණි ආන්දොලනයට ලක්වූ WPLX 2735 බවුසරය ඉන්ධන රැගෙන ඇත්තේ ඉන්ධන මිල ඉහළ යෑමට පෙර නොවන බව බලශක්ති ඇමති කාන්චන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු කීවේ මෙම බවුසරය ඉන්ධන රැගෙන මුතුරාජවෙල පර්යන්තයෙන් පිටත් වී ඇත්තේ ඉන්ධන මිල වැඩි වී තිබුණු ඊයේ දිනයේ උදෑසන 8.20ට බවය. එම තෙල් තොගය රැගෙන ගොස් තිබුණේ රඹුක්කන සමූපාකාර පිරවුම්හලට පමණක් නොවන බවත්, වැලිගමුව ඉන්ධන අලෙවිසලට සහ රඹුක්කන සී.ටී.බී. ඩිපෝවට ඉන්ධන රැගෙන ගියේත් එම බවුසරයෙන්ම බවත් ඇමතිවරයා කීවේය.
8.20ට මුතුරාජවෙලින් පිටත් වූ බවුසරය 11.20 වනවිට රඹුක්කනට ලඟා වී ඇති බවත් කිසිම ප්‍රමාදයක් සිදු නොවුන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් මෙම බවුසරයේ ඉන්ධන තොගය වැඩි මිලට විකිණීම සඳහා සඟවාගෙන තිබුණු බවට වූ චෝදනාව තමන් මුලුමනින්ම ප්‍රතිෂේප කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
“මේ රඹුක්කන සමූපකාර අලෙවිසලට අයිති බවුසරයක් නොවෙයි. මේක පුද්ගලිකව හයර් කරන බවුසරයක්. ගම්පහ දිස්ත්‍රික්කයේ බවුසර් එකක්“ ඔහු කීවේය.
එහිදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යෝජනා කළේ මේ ඉන්ධන පුරවාගෙන පිටවී යෑම සම්බන්ධ සී.සී.ටී.වී දර්ශන ඇතිනම් වහාම ඒවා මාධ්‍යයට ලබා දෙන ලෙසය.
ඒ කටයුත්ත ඉක්මනින්ම සිදුකරන බව ඇමතිවරයා පැවසුවේය.







