තාවකාලිව දේශපාලනයෙන් ඉවත්ව සිටි තමන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ගැන ගැඹුරින් සිතා යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන දේශපාලනයට අවතීරණ වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පවසයි.
යම් යම් අසතුටුදායක සිදුවීම් කිහිපයක් හේතුවෙන් පසුගිය මහමැතිවරණයට තමන් ඉදිරිපත් නොවී මාස තුනක පමණ කාලයක් තිස්සේ පක්ෂ කාර්යාලය වසා තැබූ බවත් ජනතාව ගැන සිතා පැවැති නිහඬතාව බිඳ යළි දේශපාලනයට අවතීර්ණවන බවත් ලොහාන් රත්වත්තේ කියයි.
මහනුවර දී අද (11) මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් රත්වත්තේ කීවේ පක්ෂය තීන්දුවක් අරන් වගකීමක් බාර දුන්නොත් එය භාරගන්නා බවය.
“මාලිමාව ගොඩක් පොරොන්දු දුන්නා. නමුත් ඒවා ඉටුවන බවක් පේන්න නැහැ. අපිට ජනතාව දුන්න වගකීම අපි ඉටු කළා. ඒ වෙලාවෙ ලොකු රැල්ලක් මාලිමාවට තිබුණා. ඒ නිසා අපිට ඡන්දය දුන්න අයත් ඒ පැත්තට ඡන්දය දුන්නා. මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය බාර ගන්න කැමැතියි. මහනුවර විතරක් නෙවෙයි ලංකාවේම නායකත්වය දුන්නත් භාර ගන්න මම සූදානම්.”
“පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවනවා. මගේ පියා අනුරුද්ධ රත්වත්තේ ගේ දේශපාලන ගමන් මග ඔස්සේ තවත් ඉදිරියට ගොස් ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමයි මගේ බලාපොරොත්තුව. අපේ බලය රැක ගැනීම නෙවෙයි වැදගත්.. මහනුවර ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් තමයි යළි දේශපාලනයට එන්නේ.”
ලොහාන් රත්වත්තේ කීවේය. ලොහාන් රත්වත්තේ යනු පසුගිය ජනාධිපතිවරණයේ දී පක්ෂයේ තීරණයට පිටින් ගොස් ගෑස් සිලින්ඩරයෙන් ඡන්දය ඉල්ලනට රනිල් වික්‍රමසිංහ හා එක් වී අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම අහිමි වූ අයෙකි.
ඔහු මහ මැතිවරණයට තරග කළේත් නැත. ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලියුමක් ලියා තබා වෙඩි තබාගෙන මිය ගිය පසු ඔහු පක්ෂ කාර්යාල ද වසා දැමුවේය.
අනතුරුව මිලියන ගණනක බදු වංචා කරමින් නීති විරෝධීව එකලස් කර පාවිච්චි කරමින් සිටි වාහන පිළිබඳ සියලුම කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට පත් වී බන්ධනාගාරගත වුනේය.
කෙසේ වෙතත් දුක් විඳින ජනතාව සුවපත් කිරීමේ අභිලාෂය සහිතව ලොහාන් රත්වත්ත පොහොට්ටුව සමග යළිත් එක් වී මැතිවරණ වේදිකාවට ගොඩවීමට සූදානමිනි.







