රුපියල් බිලියන 10ක් මුදල් දෙන්නට නැති නිසා ඡන්දය කල් දැම්මා කීවාට රජය වැඩි කළ බදු ආදායම් හරහා පෙබරාරි මාසයේ මුල් දින 15 තුළදීම රුපියල් බිලියන 118ක උපයාගෙන ඇති බවත් උපයන විට ගෙවන බදු සහ වැට් බදු මඟින් ඔවුන්ගේ පෙබරවාරි ඉලක්කය වන බිලියන 168කට පහසුවෙන් ළඟා වනු ඇති බවටත් තොරතුරු ලැබී ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් අද (22) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
මීට අමතරව මෙම මාසයේදී සුරාබදු සහ රේගු බදු වශයෙන් රුපියල් බිලියන 40ක ඉලක්කයක සිටින බවද සඳහන් කළ මන්ත්‍රිවරයා මැතිවරණයට මුදල් බිලියන 10ක් දෙන්නට නෑ කියන්නේ එවැනි පසුබිමක් මත බවද ප්‍රකාහ කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
ඡන්දය මෙහෙයවන්න සල්ලි නෑ කියන එක බොරුවක්. පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හදන්න වරායෙන් උපයපු ඩොලර් මිලියන 132ක් යොදවනව කියල. එවැනි ආදායමක් වරායට එනකොට වරායත් බදු ගෙවනවා. රජය සදාචාර නොවන අශීලාචාර ක්‍රියාවක් තමයි ක්‍රියාත්මක කරන්නේ. රජය ඡන්දයට බය වුණා. නමුත් ඡන්දය අයිතිය සෑම පුරවැසියකුගේම අයිතියයි.
අද වරාය නගරය ගැන කතා කරනවා. ආයෝජන එන්නේ නෑ ප්‍රජාතන්තුවාදය නැතිනම්. වරාය නගරය පිළිබඳව අපි ප්‍රතිපත්තියක් ලෙස සංකල්පීය වශයෙන් එකඟයි. පෝට් සිටි කොමිසමට අසීමිත බලයක් දී තිබෙනවා. ඒ අසීමිත බලතල වහා සංශෝධනය විය යුතුයියැයි මම අදහස් කරනවා…” යනුවෙන්ද ඔහු පැවසීය.