නිමන්ති රණසිංහ –
ලංකාවේ ප්‍රකට ව්‍යාපාර නායකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ලබන සතියේදී පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (22) විවෘත අධිකරණයේදී දැනුම් දුන්නාය.
මෙම පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා විසින් අධිකරණයට එවනු ලැබ ඇතැයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
ඒ අනුව මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ජේෂ්ඨත්වය මත පදනම්ව ඉදිරි සතියේ දී පත් කරනු ලබන බව මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සඳහන් කළාය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.







