විදේශ රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ සැලකිය යුතු සන්ධිස්ථාන සනිටුහන් කිරීම සඳහා සමරු කාසි නිකුත් කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව පළමු වරට විදේශීය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් සිදුකිරීමට සැරසෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ඒ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර සැමරුම වෙනුවෙනි. මේ බව මෙරට මහ බැංකුවේ ප්‍රකාශකයකු තහවුරු කර ඇතත් වැඩි විස්තර ලබා නොදුන් බව සන්ඩේ ටයීම්ස් වාර්තාවේ දැක්වේ.
ඇතැම් විට චීනය විසින් කාසි මුද්‍රණය කර ශ්‍රී ලංකාවේ මහ බැංකුවට සහ අනෙකුත් මිත්‍ර රටවලට නොමිලේ ලබා දීමට ඉඩ ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.
මෙම සමරු කාසිය භාවිත නොකර සංසරණය නොවන ලෙස සකස් කරන්නේ ද නැතහොත් සංසරණය වන මට්ටමට සකසන්නේ ද හෝ ඒ දෙආකරයටම සකසන්නේ ද යන්න තවම පැහැදිලි නැත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුම වෙනුවෙන් චීන මහ බැංකුව සැමරුම් කාසි පෙළක් ඉදිරිපත් කර ඇත.
එම සමරු කාසි පෙළ තුළ කාසි 9ක් ඇතුළත් ව ඇති අතර ඉන් 3ක් රන් කාසි, 5ක් රිදී සහ එකක් තඹ මිශ්‍ර ලෝහවලින් නිමවා ඇතැයි චීන මහජන බැංකුව පවසා ඇත.
රන් කාසියක් ග්‍රෑම් 8ක් වන අතර එම කාසි එකිනෙකට වෙනස් කැටයම් රූප නිරූපණය කරයි.
ඒවා සියල්ලෙහිම චීන කමියුනිස්ට් පක්ෂ ලාංඡනය සහ ජාතික ලාංඡනය සමඟ කැටයම් කර ඇතැයි සඳහන් ය.
(ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීපීසී) ශත සංවත්සරයට සුබ පතමින් එරට මහ බැංකුවේ මහජන බැංකුව පසුගිය සඳුදා එළිදක්වන ලද අනුස්මරණ කාසි මාලාව ය.)