ජානක ලියනආරච්චි –
කටුදෙණිය අයියා යන්නට ගොස්ය. ලෝකය ලස්සන කරන ලස්සන මිනිස්සු ලෝකයෙන් යන්නට යනවිට එය මහා වේදනාවකි. චන්ද්‍රසිරි කටුදෙණිය ගැන මේ සටහන තබන්නේ ඒ කම්පනයෙනි.
පුවත්පත්වල විශේෂාංග ලේඛනයෙහි අමුතුම වර්ණයක් ඇති කළ අතීත පරම්පරාවක් විය. ඒ මිනිස්සු පුවත්පත් තුළ කලාවක් බිහි කළහ. අපව පුවත්පත්හි නිර්මාණය වුන කලාවට ඇබ්බැහි කළේ ඒ ආදරණීය මිනිස්සුය. 80 -90 දශකවල දිවයින පුවත්පත යනු කලා කෘතියකි. විශේෂයෙන්ම ඉරිදා දිවයින සංග්‍රහය ඒ කලාව ප්‍රායෝගික අභ්‍යාස කළ තැනය.
ඒ උසස් ප්‍රමිතිගත පත්තරය නිර්මාණය වූයේ හෘද සංවේදී මානුෂික ඉසව් ගැඹුරු ලෙස ස්ඵර්ෂ කරමින් ජීවිත ගවේෂණයක යෙදුන සොඳුරු මනුෂ්‍යයන් පිරිසක් මනුෂ්‍යත්වය පිළිබඳ කළ දෘෂ්ටිමය අභ්‍යාසයක ප්‍රතිඵලයක් ලෙසය. චන්ද්‍රසිරි දොඩංගොඩ, කරුණාදාස සූරියආරච්චි, කිත්සිරි නිමල් ශාන්ත චන්ද්‍රසිරි කටුදෙණිය මේ වික්‍රමයේ ප්‍රමුඛයෝ වූහ. අද මේ ප්‍රභූ මනුෂ්‍යයින් සිවු දෙනාම අද අප අතර නැත. කටුදෙණිය අයියා නික්ම යන්නේ යළි කිසිදාක නොඑන ඒ පුවත්පත් කලාවේ අතීත මහෝඝය පිළිබඳ තියුණුම මතක සටහන තබමින් බව විශ්වාස කරමි.
පත්තර ලෝකයේ මහා නමක් සහිතව සිටි චන්ද්‍රසිරි කටුදෙණිය තරම් සුහද, ඔහු තරම් නිහතමානී මිනිසෙක් පිළිබඳ මට මතකයක් නැත. ඔවුන් ඇසුරෙහි ආධුනිකයෙක් ලෙස දිවයින පුවත්පතේ කර්තෘමණ්ඩලය තුළ ලැබු අත්දැකීම සරසවි ගණනකින් ලැබිය නොහැකි එකක් විය. ජංගම දුරකථන නැති, පරිගණක නැති පත්තර පිටු “පේස්ට් අප්” කර නිර්මාණය කරන යුගයක රට පුරා විසිරුණ මිනිස් ජීවිතවල අඳුරු ඉසවු ගවේෂණය කරමින් කටුදෙණිය අයියා කළ පෙළහර අපි මවිත වී බලා සිටියෙමු. ඔහු දින ගණන් පා ගමනින් ඇවිද මිනිස් ජීවිතවල සුවඳ සොයා ගිය මිනිසෙකි. වැඩක් දැනුන විට කෑමක් බීමක් හෝ පිළිබඳ නිනව්වක් ඔහුට නොවීය. ඒ කැපවීම ඒ වෙහෙස වින්දනය කරමින් කරන විශේෂාංගයක යටිපෙළ තුළ අපූරු විචිත්‍රත්වයක් දනවන පෙළහරක් විය. ඒ මිනිස්සු තම භාවමය අභ්‍යාසය වෙනුවෙන් දියවුනහ. ඉන් පන්නරයක් මෙන්ම වින්දනයක් ලැබූහ. එවැනි දෘෂ්ටිමය ගැඹුක් සහ ජීවිත ආකල්පයක් සහිත උන් අද නම් පුවත්පතක කර්තෘමණ්ඩලයක් තුළ සොයාගත නොහැකිය. පත්තරවලට පමණක් නොව ඒ කර්මාන්තයට ද කෙළවී ඇත්තේ ඒ නිසා බව විශ්වාස කරමි.
චන්ද්‍රසිරි කටුදෙණිය අවසානයේ දී පත්තර අත් හැරියේය. පසුව ඇමරිකාවට සංක්‍රමණය වූයේය. දැවැන්ත දුක් වේදනා ප්‍රමාණයක් විඳගනිමින් අවසානයේ දී ඔහු ඇමරිකාවේ සාර්ථක ව්‍යාපාරයක් දියුණු කරගත්තේය. දරු දෙදෙනා ලෝකයේ ඉහළම තැන්වලින් ඔසවා තැබුවේය. පුතා විද්වත් වෘත්තිකයෙකි. දියණිය වෛද්‍යවරියකි. ආදර්ශමත් පවුල් ජීවිතයක් ගතකළ මේ දිරිමත් මනුෂ්‍යයා පත්තර අත්හැරියත් ගත් කතුවරයෙක් ලෙස ස්වකීය භූමිකාව අත් හැරියේ නැත. දැන් ඒ සියලුම පරිච්ඡේද අවසන්ය.
එක්වර ගසක් මුලින් ඉදිරී ඇදවැටුණ සේය. ඊයේ රාත්‍රියේ ඇමරිකාවේ සිය නිවසේ දී නිදි යහනේදීම ඔහු මිය ගොස්ය. ඒ මරණයත් ඔහුගේ ජීවිතය සේම ඔහුට සැහැල්ලු වූ බව සිතේ. එහෙත් ඔහු අපව කම්පනය කරමින් තවත් ජීවිත ධර්මතාවයක් බරපතල ලෙස සන් කර ඇත.
“උඹලා එල්ලිලා ඉන්නේ නිදාගත්තට පස්සේ හෙට උදේ නැගිටියිද කියලා ෂවුර් නැති ජීවිතයක…” කටුදෙණිය අයියාය කියා ගොස් ඇත. මේ නහුතයක් ගේම් ගහන්නේ ඒ ටිකට නම් එවැනි පැවැත්මක් වෙනුවෙන් ගත කරන හැම තත්ත්පරයක්ම අපරාදේය. කටුදෙණිය අයියා යන්නට යන්නේ ඒ කතාව අපි හැමෝටම කියමිනි.
අපි එනකම් ඉන්න තැනක පරිස්සමින් ඉඳපන් අයියේ. උඹට සුබ ගමන්.







