ආනයනය සඳහා පෞද්ගලික අංශයට අවසර දෙන ලද රසායනික පොහොර අතරට MOP, TSP සහ යූරියා ඇතුළත් නොවන බව විශේෂිත පොහොර ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් සුජීව වලිසුන්දර මහතා පවසයි.
ඔහු පැවසුවේ මාස එකහමාරක් වැනි කාලයක් තුළ පොහොර ගෙන්වීමට හැකියාව ඇති නමුත් ඩොලර්වල විශාල අර්බුදයක් ඇති බවයි.
හිරු ටීවී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම රජය විසින් රසායනික පොහොර ආනයනයට ලබාදී ඇති ආකාරය සහ ඒවා ගෙන්වීම පිළිබඳ මෙසේ අදහස් පළකළේය.
“අමාත්‍යවරයාගේ නිවේදනය පරිදි විශේෂයෙන් එළවළු වගාව ඉලක්ක කරගෙන යොදන්න පුළුවන් විශේෂිත පොහොර වර්ගවලට පමණක් අනුමැතිය ලබා දෙනවා පුද්ගලික අංශයට. විශේෂිත පොහොර යන ගණයට ඇතුළත් වෙන්නේ නෑ MOP, TSP සහ යූරියා කියන දේ. විශේෂිත පොහොර මේවා උසස් තාක්ෂණයෙන් යුක්තව නිෂ්පාදනය කරලා තියෙන සියලු පෝෂක ද්‍රව්‍ය එකට කැටි කරපු කැටයක් හැටියට තමයි වගාවට යොදන්නේ.
වී වගාව සඳහා කාබනික පොහොර වර්ග සහ නැනෝ යූරියා කියන පෝෂක වර්ගවලින් වී වගාව කරගෙන යාමට අවස්ථාව තියෙන බව තමයි එතුමා සඳහන් කළේ. MOP, TSP සහ යූරියා කියන ප්‍රධාන පොහොර වර්ග ආනයනයට අවසර දෙන එකක් නැහැ කියලා තමයි අපට ගරු අමාත්‍යතුමා එදින පැහැදිලි කළේ. පොහොර ආනයනය කරන්නත් ඩොලර්වල දැනට විශාල අර්බුදයක් තිබෙනවා.
විශේෂිත පොහොර වර්ගවලත් කිලෝ 25 මිටි තමයි වෙළඳපොළට නිකුත් කරන්නේ. රුපියල් 6000 සිට 8000 දක්වා මිල වෙනස් වෙන්න පුළුවන්. විශේෂිත ප්‍රහාර ලංකාවට ගෙන්න මාස එක හමාරක ඇතුළත සියලු කටයුතු සම්පාදනය කර ගන්න පුළුවන්. මොකද මේ පොහොර වර්ග අපට ගුවන් මගින් ගෙන්වන එකේ ලොකු අපහසුතාවක් තියෙනවා. මොකද මේකෙ බර වැඩියි.”







