ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පර්යේෂණ ආයතනයවන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ සභාපතිවරයා ලෙස මේ රජයෙන් පත්කර ඇති 83 හැවිරිදි ඒ. නවරත්නරාජා නැමැති වියපත් පුද්ගලයා විසින් ආතයනික පටිපාටිය බිඳ දමමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් හා ඉලක්ක පුද්ගලයින්ගෙන් වෛරීව පලිගනිමින් එම ආයතනට සිදුකරන ව්‍යසනය පිළිබඳව නාරා සේවක එකමුතුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා තිබේ.
නාරා සේවක එකමුතුව දක්වා ඇති පරිදි මේ පුද්ගලයා 83 හැවිරිදි අයෙකි. රාජ්‍ය ප්‍රතිපත්තියවන සෞභාග්‍යයේ දැක්මට අනුව ධීවර අමාත්‍යාංශය පෙළගස්වා ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු වෙනුවට අත්තනෝමතිකව තමන්ට රිසි දේ තමන්ගේ අවශ්‍යතාවය අනුව සිදුකරන මේ පුද්ගලයා හේතුවෙන් ජාත්‍යාන්තර කීර්තියක් අත් කරගෙන සිටින මේ විද්‍යාත්මක පර්යේෂණ ආයතනය විනාශ වී යන අකාරය ඔවුන් මුදල් අමාත්‍යවරයා වෙත දන්වා තිබේ.
මෙයට පෙර සිදුකරන ලද අසාර්ථක ව්‍යාපෘති අතිශය වගකීම් රහිතව නැවත සිදුකර රජයට දැඩි ලෙස මුල්‍ය අලාභ සිදුකිරීම, ආයතනයේ මුදල් හා සම්පත් අනීතික ලෙස තමන්ගේ පුද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් රාජ්‍ය මුදල් හා දේපල අවභාවිතා කිරීම පිළිබඳව ද නාරා සේවක එකතුමුතුව මුදල් අමාත්‍යවරයා දැනුම්වත් කර ඇත.
ඔවුන් එල්ල කරන ප්‍රබලම චෝදනාව වන්නේ රජයේ විගණන වාර්තා වලින් හෙළිදරව් කර ඇති අක්‍රමිකතා සහ මුල්‍ය වංචා සඟවමින් ඒවාට වගකිව යුතු නිලධාරීන් තම අණසකට යටත් කොට ඔවුන් හරහා තමන්ට අවශ්‍ය පරිදි විවිධ අක්‍රමිකතා සිදුකිරීමය. එමෙන්ම ආයතනයේ බඳවාගැනීමේ පරිපාටියේ පිරිවිතයන් නොමැතිව බඳවාගන්නා ලද නුසුදුසු නිලධාරීන් පිළබඳව මීට පෙර පරික්ෂණ පවත්වා වරදකරුවන් ලෙස ඔප්පු කර සේවය වහා අවසන් කිරීමට නිර්දේශ කර තිබියදීත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකර ඔවුන්ව ආරක්‍ෂා කරමින් අනෙකුත් සේවකයන්ගෙන් පළිගැනීමට ඔවුන්ව යොදා ගැනීමය.
රටේ පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් රාජ්‍ය අංශයට නවක බඳවාගැනීම සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති අවස්ථාවක නාරා සභාපතිවරයා විසින් විවිධ තනතුරු සඳහා පුද්ගලයින් බඳවා ගැනීම, වසර ගණනාවක් පුරාම වැටුප් වෙන් නොවු තනතුරු සඳහා විවධ පුද්ගලයින් වැඩබැලීමට පත්කර රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධව ද නාරා සේවක එකමුතුව මුදල් ඇමතිවරයාට දන්වා ඇත.
නාරා සේවක එකමුතුව මුදල් ඇමතිවරයාට යැවූ එම ලිපියේ පිටපත් ධීවර අමාත්‍යතුමා, ධීවර රාජ්‍ය අමාත්‍යතුමා, ජනාධිපති ලේකම්තුමා, මහාභාණ්ඩාගාර ලේකම්තුමා, ධිවර අමාත්‍යාංශ ලේකම්තුමා, ධිවර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් තුමා, විගණකාධිපතිතුමා, නාරා පාලක මණ්ඩලය, සභාපති/නාරා, අධ්‍යක්‍ෂ ජනරාල්/නාරා වෙත ද යොමු කර ඇත.