මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ සිට පැල් රැකීමට ගොස් ගංවතුරට කොටුවීම ගසක් උඩ සිටියදී බෝට්ටු මගින් ගොස් අවුරුදු තුනක දරුවකු ඇතුළු දරු පවුලක් මෙන්ම හත් දෙනෙකුගේ ජීවිත දහවෙනිදා සවස විශාල පරිශ්‍රමයක් දරා බේරා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය කියයි.

ඉකුත් නමවෙනිදා ඔවුන් පැල් රැකීමට ගොස් ඇති අතර මාදුරුඔය හා කුඩාඔය පිටාර කළා හදිසියේම ඇති වූ ගංවතුර තත්ත්වය සමග පැලේ කොටුවී ඔවුන් ගස් කිහිපයකට නැග ඇති බවත්, දහවෙනිදා අලුයම් කාලයේ අඩි දහයක් පමණ ප්‍රදේශයේ වතුරෙන් වැසී තිබුණු බවත්, අනතුරුව පැල් රකිමින් සිටි පවුල අවුරුදු තුනේ දරුවා සමග ගසක් උඩ නැග ඇති බවත්, බෝට්ටු මගින් ගොස් ඔවුන්ගේ ජීවිතයේ ගලවා ගැනීමට හැකි වූ බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
ගංවතුරට කොටුවූ පිරිස් මොනණරතැන්න ගම්මානයේ පදිංචි, අවුරුදු 03, 20,25,35,40 යන වයස් වල පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.
ගංවතුරට කොටුවූ පිරිස අඩි දොළහක් පමණ උසැති ගසක අටවා තිබූ වාඩියකට නැග ඇති තිබේ,
අනතුරුව එම පිරිස ජංගම දුරකථනයක් මගින් මොනරතැන්න ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කිරීමෙන් පසු ගම්මානයේ පදිංචි සේනපුර කොට්ඨාශ ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ මහතා ඒ පිළිබඳ වැලි කන්ද පොලිසියත් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, ආපදා කණ්ඩායමත් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇත.
වැලිකන්ද පොලිසිය, වැලිකන්ද ප්‍රාදේශී ලේකම් කාර්යාලය, සිවිල් ආරක්ෂක බලකාය, ආපදා සහන සේවා කණ්ඩායම, සහ ගම්මානයේ ගොවි නියෝජිතයින් මෙන්ම ගොවීන් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.







