රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෑස් ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ප්‍රධාන වශයෙන් ගෑස් සංයුතිය වෙනස් වීම බව මූලික විමර්ශනවලදී හඳුනාගෙන තිබුණද, එම හේතුව වසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීමට පොලිස් ප්‍රධානියෙකු ලවා කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කරයි.
මේ වන විට පත්කොට ඇති විශේෂඥ කමිටු විසින් මෙම ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතිය වෙනස්වීම බව තහවුරු කරගෙන තිබුණ ද එම කරුණ යටපත් කර, වෙනත් කරුණු ඉස්මතු කිරීම සඳහා මෙම පොලිස් ප්‍රධානියා යොදාගෙන අදාළ පාර්ශ්වවලට බලපෑම් කරවීම පිළිබඳව ඉහළ පෙළේ කීප දෙනකු අතර කතාබහක් ඇති වී තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පසුගිය දා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුව ද ගෑස් සංයුතිය මෙම අනතුරුවලට හේතුව බව ප්‍රකාශ නොකොට, තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍ය බවට සඳහන් කරමින් කල් දමා ඇත්තේ මේ හේතුවෙන් බව එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.
පසුගිය කාලයේ දින පහක් තුළ පමණක් ගෑස් සම්බන්ධ අනතුරු 430ක් සිදු වී ඇති බව එම කමිටුවේ නිරීක්ෂණම පෙන්වා දෙයි. ඊයේ (11) දිනයේදී ද ගෑස් අනතුරකින් සිදුවූ මරණයක් වාර්තා විය.
පසුගිය පළවෙනිදා අළුයම් කාලයේ නිවසේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් තුවාල ලබා සිටි කාන්තාවක දින 10ක් ප්‍රතිකාර ලබමින් හිඳ මහනුවර ජාතික රෝහලේ දී මිය ගියාය. තවත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාන්තාවක් පිළිස්සුම් තුවාල සහිතව මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී. වැලිකන්දේ සිදුවූ මරණය මුලින් ගෑස් අනතුරක් නිසා සිදුවූ බව කී පොලිසිය පසුව සිය දිවි හානිකරගැනීමක් බව ප්‍රකාශ කළේය.
ගෑස් කාන්දු ආශ්රයෙන් ඇතිවූ පිපිරීම් සහ දේපළ සහ ජීවිත හානි වී මෙතරම් ප්‍රමාණයක් වාර්තා වී තිබියදීත් මෙතෙක් ගෑස් සමාගම් සම්බන්ධයෙන් කිසිදු දැඩි පියවරක් නොගැනීමට හේතුව ඒ හා සම්බන්ධ ඉහළ පෙළේ බලපෑම් නිසා බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.







