පාතාල ක්‍රියාකාරකම් හා සම්බන්ධ මෙම සිද්ධිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථගැන්වීමේ විපක්ෂයේ උත්සාහය ප්‍රතික්ෂේප කරන බවත්, විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව විපක්ෂය නැගූ ප්‍රශ්නය ද ඒ ආකාරයෙන්ම පදනමක් රහිත මුසාවක් බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උසාවි පරිශ්‍රය තුළ ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
පහුගිය දින දෙක පුරාවට පාර්ලිමේන්තුවේ පහුගිය 19 වැනි දින කොලඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවු වෙඩි තැබීමත්, ඒ වගේම මිද්දෙණියේ සිදුවූ වෙඩි තැබීමත් සම්බන්ධව විවිධ කාරණා මේ පාර්ලිමේන්තුවේ දී මතුවුනා.
ඒ වගේම මේ ආශ්‍රිතව ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතිබවක් විපක්ෂය විසින් චෝදනා කරනු ලැබුවා. ඒ වගේම මීට අනුගතව විනිසුරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු ආරක්ෂාව අඩු කළා යන කරුණු මේ සභාව තුළ ඉදිරිපත් කරනු ලැබුවා.
2025.02.19 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රශ්න කීපයක් සම්බන්ධව මා මේ අවස්ථාවේ කරුණු ඉදිරිපත් කිරීමට කැමතියි.
මුලින්ම මම මෙහිදී කියන්න කැමතියි පසුගිය දින සිදුවූ වෙඩි තැබීම සම්බන්ධව රජයක් වශයෙන් අපි කණගාටුව ප්‍රකාශයට පත් කරනවා. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිසි පරීක්ෂණ පවත්වලා වෙඩි තැබීම සිදුකළා යැයි සැක කළ පුද්ගලයින් වෙඩි තබා පැය 08ක් ගතවීමටත් පෙර අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රි ලංකා පොලිසියේ කැපවීම, දක්ෂතාවය අගය කළ යුතු දෙයක් ලෙස අප දකිනවා.
පසුගිය කාලයේ සිදුවූ අපරාධ තියනවා අද වනතුරු කිසිම සැකකරුවෙක් අත් අඩංගුවට ගන්න බැරිවුන අපරාධ ලෙස. ඒවා සියල්ලම දේශපාලන සම්බන්ධතා මත සිදුවූ අපරාධ බව අප කවුරුත් දන්නවා. නමුත් ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ නිලධාරීන්ට විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය නිදහස අප ලබා දීලා තියනවා. ඒ නිසා අපරාධ සම්බන්ධව පරීක්ෂණ ඉතාම කාරයක්ෂමව සිදුවනවා.
ඒ හින්දා මම මේ සභාවට කියන්න කැමතියි යම් සිද්ධියක් වුනොත් ඒ පිළිබඳව අපි වහාම පරීක්ෂණ පවත්වලා ඒ සියලුම දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීමට අවශ්‍ය සියලු පියවර අරන් තියනවා.
විශේෂයෙන්ම මේ සිදුවීම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියනවා කියලා බොරු බිල්ලෙක් සමාජයට නිර්මාණය කරන්න විපක්ෂයේ සමහර කණ්ඩායම් උත්සාහ කරමින් ඉන්නවා. ඉතිහාසය පුරාම සිදුවුන දෙයක් තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ කැළඹීම් සමාජය තුළ නිර්මාණය කිරීම. මේ සිද්ධිය අධිකරණයක් ඇතුළෙ සිදුවන පළමු වෙඩි තැබීම නොවෙයි. නමුත් එහෙම කියලා මේ සිද්ධිය ලඝු කරන්න අපි සූදානම් නෑ. මේ පිළිබඳව රජය දැඩි ලෙස මැදිහත් වෙලා තියනවා. මේ පිළිබඳව රජයේ දැඩි කැපවීම සහ මැදිහත්වීම සිද්ධ කරලා තියනවා.
අප දන්නවා පසුගිය දශක දෙකක තුනක කාලය තුළ මේ පාතාලය වර්ධනය වුනේ කොහොමද කියලා. මේ පාතාල කල්ලි නිර්මාණය වුනේ දේශපාලන අනුග්‍රහය ඇතිව. ඒ පාතාල කල්ලිවලට දේශපාලන රැකවරණය ලබා දී තිබුණා. පාතාලයත් එක්ක මත්ද්‍රව්‍ය විවිධ හොරකම් මැරකම් ජාවාරම් සම්බන්ධයි. මේ සියලුම දේ පසුපස තිබුණෙ දේශපාලන රැකවරණය.
මේ නිසා පසුගිය සමයේ වාර්තාවූ වෙඩි තැබීම් සිදුවන්නේ විවිධ පාතාල කල්ලි සහ පුද්ගලයින් අතර ඇතිවුන ගැටුම් විදිහට. එම ගැටුම් නිසා මිය ගිය අය අතර පාතාල නායකයින් වූ පුද්ගලයින් ඉන්නවා. නමුත් ඔවුන් එසේ මිය යෑම අප කිසිසේත්ම සාධාරනීකරණය කරන්න යන්නේ නෑ. මම මෙයින් මතුකරන්න හදන්නේ මනුෂ්‍ය ඝාතනයන් විශාල ප්‍රමාණයක් සිද්ධකළ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඒ කාලයේ බිහි වුනේ කොහොමද කියන කාරණාව. ඔවුන් බිහි වුනේ දැන් විපක්ෂයේ සිටින සමහර කණ්ඩායම් බලය හොබවපු එයාලගේ ආණ්ඩුකාලවලදී එයාලගේ අනුග්‍රහයෙන්.
පසුගිය සමයේ පැවති ආණ්ඩුවල බලය හොබවන කාලයේ දී අපට මතකයි පාතාල ක්‍රියාකාරකම්. රග්ර ක්‍රීඩකයො විශාලප්‍රමාණයක් ඝාතන වුනා අතුරු දහන් වුනා පමණක් නොවෙයි, සමහරුන්ගේ කකුල් අතපය කඩලා දැම්මා. ඒ සිදුවීම් සම්බන්ධව දැන් ජාතික ආරක්ෂාව පිළිබඳ කෑ කෝ ගසන කිසිම කෙනෙක් එයාගේ මැදිහත්වීමක් සිදුකළේ නෑ.
ජාතික ජන බලවේගය බලයට පත්වුනාට පසසේ පාතාලයට තිබුණ සියලුම දේශපාලන රැකවරණ ඉවත්කර තියනවා. අපේ කිසිම කෙනෙක් පාතාලය එක්ක සම්බන්ධ නෑ.
විනිසුරුතුමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම වෙනසක් කරලා නෑ. ඒ ආකාරයෙන්ම ලබා දිලා තියනවා. 2011 /3 වැනි මාසයේ නිකුත් කළ චක්‍රලේඛය ඒ ආකාරයෙන්ම පවතිනවා. සත්‍යයෙන් තොරයි එම ප්‍රකාශ.
කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සීඅයිඩී නිලධාරීන් එක්ව තොරතුරු හුවමාරු කරමින් විමර්ශන පවත්වාගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාවරයා පැවසුවේය. අංක 202/2A දඹහේන පාර මහරගම පදිංචි සමිඳු දිල්ශාන් පියුමංග කඳනාරච්චි (27) මෙම ඝාතකයා බවත් ඔහු 2019.12.12 දින යුද හමුදාවේ තුන්වැනි කමන්ඩෝ රෙජිමේන්තුවට බැඳී සෙබල අංක 559189 යටතේ රාජකාරි කර 2024 මැයි මාසයේ දී පොදු සමාව යටතේ ඉන් ඉවත්ව සිටින බවවත් මහජන ආරක්ෂක ඇමතිවරයා හෙළි කළේය. . ඒ සම්බන්ධව කරුණු තහවුරු කර ගැනීමට පනාගොඩ යුද හමුදා කඳවුරේ වැටුප් අංශයට යොමු කර ඇතියි ඔහු කීවේය.
ඇමතිවරයා පැවසුවේ සැකකරු පෑලවියේ දී අත් අඩංගුවට ගන්නා විට ගමන් ගත් කේඩිඑච් රථය ව්‍යාජ අංක තහඩු සහිතව ධාවනය කර තිබුණු බවය. කේඩීඑච් වර්ගයේ වෑන් රථයේ සිටි මිල්ලෑව ලිපිනයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන (47) අපරාධයේ වෙඩික්කරුට ආධාර අනුබල දීම නිසා අත් අඩංගුවට ගෙන එම වෑන් රථය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.
වෙඩික්කරු සමග පැමිනි කටුවැල්ලේගම ඉෂාරා සෙව්වන්දි වීරසිංහ (25) නැමැති කාන්තාව අත් අඩංගුවට ගන්නට විමර්ශන පවත්වන බවත් අපරාධයට පෙර හා පසුව සැකකාරිය සමග සම්බන්ධතා පැවැත්වූ පොලිස් කොස්තාපල් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගත් බව ඇමතිවරයා පැවසුවේය..
“අපරාධයෙන් පසු වෙඩික්කරු පික් මී කුලී ත්‍රීවිල් රථයකින් ගමන් කර තියනවා. කඩොල් කැලේ හන්දියට ගොස් නිල් පැහැති ත්‍රීවිලය නැගී රිදීවැල්ල ප්‍රදේශයේ නැවතී සිට තිබෙනවා. ඔහුගේනීතිඥ ඇඳුම් අත්හැර ගොස් තිබෙන්නේ ඒ ප්‍රදේශයේ පාලු තැනක. එම ඇඳුම් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තියනවා. සැකකරු සිටින තැනට වෙනත් ත්‍රී විල් රථයකින් සැකකාර කාන්තාව ඇවිත් තියනවා. ඒ සිදුවීම් ජාලය සම්බන්ධව වෙනම පරීක්ෂණ පවත්වනවා.” ඇමතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම අපරාධයට පෙර දින මෙම අපරාධකරු සහ සැකකාරිය කඩුවෙල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟවී සිට ඇති බවත්, එම ලැගුම්හලට ගොස් නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂා කර ඇති බවත් කී ඇමතිවරයා සැකකරු සහ සැකකාරිය අපරාධ ස්ථානයට රැගෙන පැමිණි සුදු පැහැති ෆිට් රථයක් ගැන ද කීවේය. අපරාධයට පෙර දින ඉහත කාර් රථයෙන් පැමිණි අයෙක් සැකකරුට නීතිඥ ඇඳුම සහ රිවෝල්වරය ලබා දී තිබෙනව බවද සැකකරු විසින් පාපොච්චාරණය කර ඇතැයි ඇමතිවරයා පැවසුවේය.
“ජනාධිපතිවරයා කී ලෙසම මේ ක්‍රියාකාරකම් සඳහා සමහර රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහාය ලැබෙනවා. විශේෂයෙන් පොලිසිය . ඒ පිළිබඳව දැඩි තීන්දු තීරණ අරන් තියනවා. කිසි ලෙසකින් හෝ එම තීන්දුවලට බාධාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ. පාතාල මර්ධනයට සෑම වැඩපිළිවෙළක්ම ගන්නවා. ” මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවේය.







