නව බදු පනවා බංකොලොත් රටේ බදු සුනාමි නිර්මාණය නොකර, කෝටි එක් ලක්ෂ විසි දාහක මුදලක බදු පැහැර හැරීම් කළ වංචාකරුවන්ගෙන් එම මුදල් අය කරගැනීමේ ක්‍රමවේදයකට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ප්‍රවේශ නොවන්නේ ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ඇසුවේය.
ඔහු පෙන්වා දුන්නේ පසුගිය වකවානුව තුළ මේ බංකොලොත් රටේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයන් වෙත රුපියල් කෝටි ලක්ෂයක බදු සහන ලබා දුන් රජය දැන් නව බදු පනවා උපයා ගන්නට උත්සාහ කරන්නේ කෝටි හැට දහසක් බව පෙන්වා දුන්නේය.
ඔහු කීවේ මේ වනවිට රුපියල් කෝටියකට අධික බදු පැහැර හැර ඇති ව්‍යාපාරිකයන් 4200ක් රට තුළ සිටින බවත්, අරක්කු කොම්පැණි දෙකක් පමණක් රටට තැබූ බදු පොල්ල කෝටි 700ක් බවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් විමසුවේ මෙම බදු අයකරගැනීමේ ක්‍රමයකට නොගොස් නව බදු පැනවීම කොතෙක් දුරට සාධාරණ ද යන්නය.
විපක්ෂ නායකවරයා මෙසේ ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.
දැනට පවතින බදු දැලට ඇතුළු වි සිටින කණ්ඩායම් ඇතුළු කරගැනිමට ක්‍රමවේදයක් නැද්ද. බදු අය කරගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල් කරණය කිරීමේ ක්‍රමවේදයක් නැද්ද. අප දන්නවා සමහර කණ්ඩායම් මේ බදු ඩිජිටල්කරණයට කැමති නෑ. කවුරු ආණඩුවෙ හිටියත් මේ බදු පරිපාලනයට විනිවිදභාවයෙන් යුතුව විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට විරුද්ධ කොට්ඨාසයක් ඉන්නවා.
එහෙත් වඩාත්ම කාර්යක්ෂම බදු කළමනාකරණ ක්රමවේදකට යොමු වුනාට පසසේ හිටි හැටියේම විවිධ අමතර බදු පනවන්නේ නැතිව බදු දැලට අසුවිය යුතු කණ්ඩායම් අසු කරගැනීමත් බදු පරිපාලනය මීට වැඩි කාර්යක්ෂමතාවයකින් කළ හැකියි.
මේ බංකොලොත් රටේ බදු පිට ගහලා බදු සුනාමියක් නිර්මාණය කරනවා වෙනුවට බදු පරිපාලනය සඳහා ඉහළ වැඩපිළිවෙළක් සහිතව බදු කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කරන වැඩසටහනකට යන්න අපි උදව් කරන්න සූදානම්. ඒ වගේම බදු දැලට අසුවිය යුතුව ඇති එහෙත් අසු නොවී සිටින කණ්ඩායම් ගැන මම ජනාධිපතිතුමාට කරුණු කීපයක් ඉදිරිපත් කරන්නම්.
- ගිය වසරේ විතරක් රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකයින් වෙත කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දීලා තියනවා. ඒ බදු සහන මේ වගේ තත්ත්වයක් යටතේ දීම සුදුසු ද?. මොන පදනමක් යටතේ ද ඒ බදු සහන ලබා දුන්නේ. එම බදු සහන ලබා නුදුන්නේ නම් ජනාධිපතිවරයාට නව බදු පනවන්න සිද්ධ වෙන්නේ නෑ. නව බදුවලින් අපේක්ෂා කරලා තියනවා කෝටි 60000ක ආදායමක්. නමුත් කෝටි ලක්ෂයක මුදලක් ඉහත කී අයුරු බදු සහන ලබා දීලා තියනව ඉහළම ගණයේ ව්‍යාපාරිකයින්ට.
- බදු ගෙවීම් පැහැර හැරීම් ගැන බලනකොට කෝටි එක් ලක්ෂ විසි දාහක් බදු පැහැර හැරලා තියනවා. මේවා පාර්ලිමේන්තු කමිටු හරහා හෙළිදරවු වෙලා තියන ඇත්ත කරුණු. බදු නොගෙවීම බදු පැහැර හැරීම බදු වංචා කිරීම නිවැරදි කරගත්තොත් අප විශ්වාස කරනවා පනවන්නට යන අමතර බදු හරහා ඇති කරන බදු සුනාමිය ඇති කළ යුතු වන්නේ නෑ.
- ඒ වගේම අපේ රටේ ඉන්න කෝටිය ඉක්මවූ බදු පැහැර හරින්නන් සංඛ්‍යාව හාර දහස් දෙසීයක්. මේ 4200 දෙනාගෙන් ඇයි බදු අයකරගන්න කටයුතු කරන්නේ නැත්තේ
- අරක්කු ව්‍යාපාරයේ නිරතවන 23ක් අතරින් 5ක් බදු පැහැරහැර සිටි අවස්ථාවේ එම බදු පැහැර හරින්නන්ගේ බලපත්‍රය අහෝසි කර සිටීමට හෝ රජයට හැකියාවක් තිබුණෙ නෑ. මොකක්ද මේ අසීරුකම. මේ වනවිට දෙන්නෙක් බදු ගෙවලා තියනවා. නමුත් ඒ ගෙවපු අය පැහැර හැරිය බදු මුදල රුපියල් කෝටි 700ක්. මේ බලපත්‍රය කැන්සල් කලොත් අනිවාර්යයෙන් මේ බදු මුදල ගෙවයි.
ජනාධිපතිවරයාගෙනුත් මුදල් ඇමතිවරයා ලෙස මම ප්‍රශ්නයක් ඇහුවා. රාජ්‍ය බැංකුවලින් පුද්ගලයින් හැටියට සහ ආයතන හැටියට විශාල ණය මුදල් අරන් ඒවා නොගෙවන පුද්ගලයින්ගේ සහ කණ්ඩායම්වල ණය ලයිස්තුව ඉදිරිපත් කරන්න කියලා. සියඹලාපිටිය ඇමතිතුමා තමයි ඒකට උත්තර දුන්නේ. නම් ගම් මුකුත් කියන්න බෑ කිව්වා. නම් කියන්නත් බෑ කිව්වා. කපා හැරපු ණය මුදල කියන්නත් බෑ කිව්වා. මේක හරිම අසාධාරණයි. ණය අරගෙන රාජ්‍ය බැංකුවලින් පුද්ගලයින් සහ ආයතන ණය ගෙවන්නෙත් නෑ. ණය නොගෙවපු අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වම ඒක රහසිගතයි අතිශය පෞද්ගලිකයි කියලා උත්තරයක් එනවා.
මම ජනාධිපතිතුමාට කියන්න කැමතියි මේ බදු පැහැර හරින ධන කුවේරයින්ගේ බදුටික ලබා ගෙන ඔවුන්ව බදු දැලට හසු කරගත්තොත් අරක්කු සමාගම් තමන්ට ගෙවන්න තියන ණය ටික හරියාකාරව ගෙව්වොත් මේ බදු සුනාමිය නවත්වා ගත හැකියි.
මේ රටේ වරප්‍රසාද ලත් පන්තියක් ඉන්නවා. ඔවුන්ගේ ණය කැපෙනවා. කොපමණ කැපුනද කියලා ඇහුවොත් උත්තර දෙන්නෙ නෑ. නම කියන්නෙත් නෑ. නමුත් සමස්ථයක් ලෙස බදු බර වැඩිවෙනකොට එහි අගතිය සිද්ධ වෙන්නේ ලක්ෂ 220ක් වූ ජනතාවට.
මේව ගැන අධ්‍යයනය කරලා අපට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඇයි අලුත් බදු ගේනවට වැඩිය අලුත් බදු හරහා අලුතින් රාජ්‍ය ආදායමක් ලබා ගන්නවට වැඩිය තියන බදු ප්‍රතිශය වැඩි කරනවාට වැඩිය මේ ක්ෂේත්‍ර ගැන මුදල් ඇමතිවරයා ලෙස ඇයි වැඩි අවධානය යොමු නොකරන්නේ කියලා අහන්න කැමතියි.