කොළඹ නගරයේ දැඩි හමුදා සහ පොලිස් රැකවරණය යටතේ ඇති අධි ආරක්ෂිත කලාපයන්හිත් ඇති රාජ්‍ය දේපල සොරකම් කිරීම් ඉහළ යෑමත් සමග පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරිය දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වෙමින් ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශිත ආකාරයට අධිවේගී මාර්ගවල තඹ කම්බි සහ යකඩ බට සොරකම, විගණකාධිපති දෙපාර්තමේන්තුව අසල සිදුවූ ලක්ෂ 21කට අධික තඹ කම්බි සොරකම, කතානායක නිල නිවස අසල සිදුවූ ලක්ෂ විසි අටක ජීඅයි බට සොරකම ඇතුළු මිලියන ගණනින් රාජ්‍ය දේපල සොරා කෑම බරපතල තත්ත්වයක් ඇති කර තිබේ.
කොතලාවල ආරක්ෂක පීඨ විශ්වවිද්‍යාලයේ මිලියන ගණනක තඹ අකුණු සන්නායක සොරකමක් ගැන පසුගියදා පොලිසියට වාර්තා වී තිබිණි.
මේ වනවිට විදුලිය ඇති අවස්ථාවලදී පවා විදුලි රැහැන් කපා ගැනීමේ තාක්ෂණය ප්‍රගුණ කළ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් සම්බන්ධව වාර්තා වෙමින් ඇතැයි පොලිසිය පවසයි.
එමෙන්ම වාර්තා නොවන මෙවැනි සොරකම් ප්‍රමාණය ඉතා අධික බවත්, බොහො පැමිණිලි පොලිස් පොත්වල සටහන් නොවන ආකාරය පොලිස් කොමිසම වෙත ලැබෙන මහජන පැමිණිලිවලින් ප්‍රකාශවන බවත් පොලිසියේම අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ තත්ත්වයට විධිමත් සක්‍රිය පියවරක් නොගතහොත් රට තවත් අගාධයකට වැටෙනු ඇති බවට එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.







