චීනයේ සිටඊයේ මෙරටට පැමිණි සත් දෙනකුගෙන් සමන්විත චීන රජයේ ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අතර එම දූත පිරිසේ ප්‍රධානියා චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව සඳහන් කර ඇත.
චීන ශ්‍රි ලංකා මිත්‍රත්වටය සහ සබඳතා වැර්දණය කර ගැනීම චීන ජනපති ෂී ජඅං පිං ගේ ප්‍රමුඛතාවලින් එකක් බවද එම දූත පිරිසේ ප්‍රධානියා ලෙස පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා (Yang Jiechi) අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමුවී පවසා සිටි බව ජනාධිපිත මාධ්‍ය අංශය සඳහන් කරයි.
දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි මහතා 2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවීය. චීන පාලන තන්ත්‍රය තුළ ඔහු උප අගමැතිවරයෙකු ( Vice Premier) හා සමානය.
පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් රාජපක්ෂ මහතා වෙත පුද කළ යං මහතා තමා වසර 35කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය. රටවල් 04ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසීය.
චීන – ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපති රාජපක්ෂ මහතා චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකැයි හැඳින්වීය.
ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණ. යුද්ධය අවසන් වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ළඟා විය. දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය විසින් විශේෂයෙන් සිහිපත් කළේය.
“මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව අප තේරුම් ගත්තා. ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වුණා.
බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල මේ ව්‍යාපෘති අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාව චීනය ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස. එය එසේ නොවන බවත්, මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිවරයා චීන දූත පිරිසට පැවසීය.
ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන අරමුණු සපුරා ගැනීමට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම උදව් කිරීමට චීනය සුදානම් යැයි යං ජියෙෂි මහතා පැවසීය.
ශ්‍රි ලංකාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට සුදුසු ක්ෂේත්‍ර ගණනාවක් චීනය හඳුනාගෙන ඇත. දැනටමත් ආරම්භ කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති නිම කිරීමට අමතර ව කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ජල සම්පාදනය, සෞඛ්‍යය, වෛද්‍ය සැපයුම්, නූතන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, නිල් ආර්ථිකය ( Blue Economy) සහ ශ්‍රමික පුහුණුව ඉන් කිහිපයකි.
චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි පටන් ගැනීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මනින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයි ද චීන දූත පිරිසේ ප්‍රධානියා පැවසීය.කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මහතා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළේය.
චීන අන්තර්ජාතික සහයෝගීතා සංවර්ධන අධ්‍යක්ෂ වෑං ෂියාඕ තාවෝ, චීන විදේශ අමාත්‍යාංශයේ සහාය අමාත්‍ය ඩෙං ලි, කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානී හූ වෙයි, චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙං සොං, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටින ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.
ඔවුන්ගේ මෙම හදිසි පැමිණීම දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට ලක් වූ අතර රටේ පවතින නිරෝධායන නීතිවලට පටහැණිව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ ද විපක්ෂ මන්ත්‍රිවරු විරෝධය පළ කළහ.