කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් අතර මැදි පංති වලට සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පදනම් කර ගෙන කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පතිනිය වන පී.ආර්.සී.කේ රණසිංහ මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත අද (14) මාරුකර තිබේ.
කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පති ධූරයේ වැඩ බැලීමට තාවකාලිකව නියෝජ්‍ය විදුහල්පතිවරයා පත්කර තිබිණි.
විදුහල්පතිනිය තව දුරටත් එම ධූරයේ කටයුුතු කිරීම පරීක්ෂණවලට බාධාවක් බව පරීක්ෂණ කණ්ඩායම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
කූඨ ලේඛණ උපයෝගි කරගෙන පාසලට ළමුන් ඇතුළත් කිරීමට අදාළව නැගුණු චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් කමිටුවක් පත්කර තිබිණි.
කමිටුවේ මූලික විමර්ශන වාර්තාව සමඟ චෝදනා පත්‍රය තමන් වෙත ලැබී තිබෙන බවත් එය පදනම් කර ගනිමින් විධිමත් විනය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා විදුහල්පතිනිය මාරු කිරීමට පියවර ගත් බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් කීය.
ශාන්ත අන්තෝනි බාලිකාවේ අතර මැදි පන්ති වලට සිසුන් ඇතුළත් කිරීමේ දී කූඨ ලේඛණ උපයෝගි කරගෙන තිබෙන බවට ලද පැමිණිලි මත කටුගස්තොට රණවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගියදා මහනුවර පොලීසියේ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
කූඨ ලේඛණ මගින් පාසලට ඇතුළත් කර තිබෙන බවට චෝදනා එල්ල වන ළමුන් 29 දෙනෙකු ගේ දෙමව්පියන් අතරින් පස් දෙනෙකු ගෙන් මේ වනවිට පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්දසිරිගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි







