ඝාතනය කර මළ සිරුර සඟවා තැබූ බව සැලකෙන කුලියාපිටිය තරුණයාගේ මරණයට අදාලව දැනට අත් අඩංගුවේ පසුවන සැකකරුවන් 10දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් අද (27) නියෝග කළේය.
ඒ මෙම තරුණයා ඝාතනය සම්බන්ධව කුලියාපිටිය පොලීසිය ගොනුකර තිබූ නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේදී ය.
සිය පෙම්වතියගේ කැඳවීමක් මත ඇයගේ නිවසට ගිය තරුණයා ඝාතනය කර මළ සිරුර සඟවා තිබූ බවට වූ සිද්ධියක් මත මෙම විමර්ශන ආරම්භ වී තිබිණි.
නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය සිය පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
දැනට අධිකරණයට ඉදිරිපත් කර ඇති සැකකරුවන් දස දෙනාගෙන් කවුරුන්, කොහේදී, කෙසේ එම තරුණයාව ඝාතනය කළාද යන්න මේ වනවිටත් පරීක්ෂණ මට්ටමේ ඇති බව පොලිසිය කීවේය.
තරුණයාගේ මළ සිරුර පිළිබඳ හලාවත මූලික රෝහලේ සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ ද මේ වනතෙක් අවසන්ව නොමැති බව විමර්ශන අංශ පෙන්වා දුන්නේය.
මෙම ඝාතනය මනාව සැලසුම්කරමින් සූක්ෂ්ම අන්දමින් සිදුකර ඇති බවත් පැවසූ පොලිසිය අදාළ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන් නොමැති බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
ඒ අනුව සැකකරුවන් යළිත් වරක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උසාවිය නියෝග කළේය.