අනුරාධපුර – පර්සි කුරුනේරු –
තම පටු අරමුණු වෙනුවෙන් විශ්වවිද්‍යාලය අරාජික කිරීමට කිසිවිටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන පරිපාලන නිලධාරීහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
ආයතනික විනය, භික්ෂු විනය සහ අධ්‍යාපනික ගුණාත්මකභාවය තහවුරු කරමින් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය සම්බුද්ධ ශාසනයේ චිරස්ථායි පැවැත්මටත් පෝෂණය වීමටත් වත්මන් මහෝපාධ්‍යයන්(උපකුලපති) වහන්සේවන ජ්‍යේෂ්ඨ මහාචාර්යය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන අනුනාහිමිපාණන් වහන්සේගේ සේවය තවදුරටත් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයට අත්‍යවශ්‍ය වන බව එහි අධ්‍යයන හා අනධ්‍යයන පරිපාලන කාර්ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යායන් වහන්සේ ඉවත්ව යා යුතු බවට ඒක පාර්ශවීයව පටු අදහසක් ඉස්මතුවන තත්ත්වයක් තුළ ඒ සම්බන්ධයෙන් අධ්‍යයන හා අනධ්‍යයනය පරිපාලන කාර්ය මණ්ඩලයේ ස්ථාවරය දක්වමින් එම නිවේදනය නිකුත් කොට තිබේ.
සිය තනතුරේ කාර්ය හා කර්තව්‍ය නිවැරදිව සිදු කරන මහෝපාධ්‍යායන් වහන්සේ එම විශ්වවිද්‍යාලය වසරින් වසර සංවර්ධනය කරා ගෙන යමින් සිටින බවත් එම විශ්වවිද්‍යාලයට අවශ්‍ය භෞතික සම්පත් සහ මානව සම්පත් සපුරා ගැනීමට උන්වහන්සේගේ ඍජු නායකත්වය ඉවහල් වී ඇති බවත් එම නිවේදනයෙන් ඔවුහු කියා සිටිති.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
පසුගිය කාලයේ ඇතැම් පිරිස් විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ අවස්ථාවන්හි දී උන්වහන්සේ තම අදහස් රටේ පරිපාලනයට ඉදිරිපත් කරමින් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමඟ එක්ව නිවැරදිවත් නිර්භීතවත් ක්‍රියා කරමින් විශ්වවිද්‍යාලය රැක ගැනීමට කටයුතු කර ඇත.
මේ අනුව බෞද්ධාගමික පරිසරයක් තුළ මෙම විශ්වවිද්‍යාලය රැක ගැනීමට අන් කවරෙකුටවත් වඩා උනන්දුව හා අවශ්‍යතාවය ඇත්තේ වත්මන් මහෝපාධ්‍යයන් වහන්සේට බව අධ්‍යයන හා අනධ්‍යයන පරිපාලන කාර්ය මණ්ඩලයේ වශයෙන් තේරුම් ගෙන ඇත්තෙමු. උන්වහන්සේගේ සේවා කාලය තුළ තවදුරටත් එම කාර්ය උන්වහන්සේ සිදුකරන බව අපට විශ්වාසය. මෙම විශ්විද්‍යාලය ආරම්භයේ සිට අද දක්වාම විවිධ කුමන්ත්‍රණවලින් රැක ගැනීමට මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල කැපවීමෙන් ක්‍රියා කළහ. එය ඉදිරියටත් එසේමය.
තම පටු අරමුණු වෙනුවෙන් මෙම විශ්වවිද්‍යාලය ආරිජික කිරීමට අපි කිසිවිටෙකත් ඉඩ නොදෙමු. ආයතනික විනය, භික්ෂු විනය, අධ්‍යාපන ගුණාත්මකභාවය තහවුර කර ගනිමින් ශ්‍රි ලංකා භික්සු විශ්වවිද්‍යාලය සම්බුද්ධ ශාසනයේ චිරසථායී පැවැත්මටත් පෝෂණය වීමටත් වර්තමාන මහෝපාධ්‍යායයන් වහන්සේගේ සේවය තවදුරටත් මෙම ආයතනයට අත්‍යාවශ්‍ය බව මෙයින් තරයේ ප්‍රකාශ කර සිටිමු.







