ඉඳුනිල් කහටපිටිය –
ක්ලබ් වසන්තගේ මරණයටවත් සැනසිල්ලක් තිබුණේ නැත. මරණයටත් මරණීය තර්ජන තිබිණි. මිනිය තබා තිබුණේත් දැඩි රැකවල් මැදය. බොරැල්ල පොදු සුසාන භූමියේ ඊයේ (13) සිරුර මිහිදන් වූ භූමිය මලින් වැසී තිබුණ බව සැබෑය. ඔහු ඉපදුන නුවර එළිය නගරයත් සුදු කොඩිවලින් වැසී තිබුණ බවත් දුටුවෙමු. මරණයක දී මිය ගිය පුද්ගලයා විෂයෙහි සාමදානයක් අපේක්ෂා කෙරේ. එය සංසාර ගමනේ එක් භූමිකාවක නිමාවකි. එහෙත් මේ මරණයත් සමග යම් ක්‍රියාවලික දිගුවක් සමගම අප්‍රකාශිත තිගැස්මක් ඇති වී තිබිණි.
එය වඩාත් තීව්‍ර වන්නේ මාකඳුරේ මධුෂ් මරා වළ දැමූ ගොඩිගමුව පොදු සුසාන භූමියේ වැටෙහි මධුෂ්ගේ රුවත් සමග සටහන් වී තිබුණු වැකියකිනි.
“අපේ අයියේ. එක එක්කෙනා එවනවා. අපි එනකම් බලාගන්න…”
ඒ වචන අතරත් අප්‍රකාශිත ප්‍රකාශනයක් විය. පසුගිය දින කීපය තුළ එක්වර පොලිසියේ යම් පිරිසක් ද තිගැස්මකට පත් වනු දුටුවෙමු. පොලිස්පතිවරයා ඊයේත් පැවසුවේ යුක්තිය මෙහෙයුමේ නිරත නිලධාරීන්ට මරණ තර්ජන ඇති බවය. මොන තර්ජන ආවත් මෙහෙයුම කරන බවය.
පාතාලය මර්ධනය ස්වකීය රාජකාරි වගකීමේ නිශ්චිත කොටසක් කරගෙන පොලිසිය ආරම්භ වූ දා සිට පොලිස් නිලධාරීහු රාජකාරි කළහ. ප්‍රබල පාතාල මර්ධන මෙහෙයුම් දියත් කළහ. පාතාල තර්ජනත් ඇතැම් නිශ්චිත නිලධාරීන් වෙත එල්ලවිය. මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය වෙනුවෙන් දැවැන්ත මෙහෙයුම් කළ නියෝමාල් රංජීව සැලසුම් සහගතව ඝාතනය කිරීමට සැලසුම් සකස්විනි. එම තර්ජනවලට පොලිසිය මුහුණ දෙන ස්වරූපයක් තිබිණි.
එහෙත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමත් සමග ඇතිවන පරිසරය තුළ පාතාල මර්ධනයේ යෙදෙන බව කියන පොලිස් නිලධාරීන් කොටසකට එල්ලවන බව කියන පාතාල තර්ජනවලත් ඉන් ඒ පිරිස්වල ඇති වී තිබෙන තිගැස්මත් තුළ යම් වෙනස් හැඩයක් සමාජයට නිරීක්ෂණය වී ඇත.
එමෙන්ම දේශපාලන, ව්‍යාපාරික, වැනි විවිධ තලවල නිශ්චිත පුද්ගලයින්ගෙන් ද මේ තැති ගැනීම ප්‍රකාශ වෙමින් ඇති අයුරු දකිමු. ගමේ ඇත්තන් කියන්නේ ” මුං හැසිරෙන්නේ බඩේ බිජු හංගාගෙන” යැයි හිතෙන බවය.
මේ බිය ඇතිවෙන සිද්ධියේ මුල කොතැන ද?.
සමාජයේ පිරිසක් මරණ බියට පත්කළ භීෂණයේ නිශ්චිත මූලයක් පෙනෙමින් තිබේ. ක්ලබ් වසන්ත ඝාතනයත් සමග දැන් ඒ මුලික හේතුව අනාවරණය වෙමින් ඇත.
මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු කණ්ඩායම ඩුබායිහි දී අත් අඩංගුවට ගන්නේ ක්ලබ් වසන්ත දුන් ඔත්තුක් නිසා බව කියැවිනි. එය විමර්ශන අංශ ද ප්‍රකාශ කළ තොරතුරකි. නමුත් මාකඳුරේ මධුෂ් කොටු කළ ඔත්තුව ලබා දෙන්නේ තවත් කුප්‍රකට කුඩු ජාවාරම් කරුවෙක් වූ කුඩු මොරිල් විසින් බව ඩුබායිහිදී අත් අඩංගුවට ගත් පාතාල කණ්ඩායම ඩුබායි සිට ලංකාවට රැගෙන පැමිණි වකවානුවේ දී විමර්ශන තොරතුරුවලින් අනාවරණය වී තිබිණි. තමන් කොටු වුන ආකාරය කංජිපානි ඉම්රාන් මෙන්ම මාකඳුරේ මධුෂ් ද දැනගෙන සිටියේය. එය ප්‍රබල පාතාලයන් අතර පැවතුන මත්ද්‍රව්‍ය ජාලයේ අභ්‍යන්තර ගැටුමක ඵලයකි.
මේ වනවිට හෙළිවෙමින් ඇති තොරතුරු ප්‍රකාරව ක්ලබ් වසන්ත ඝාතනය හරහා මතු වී ඇත්තේ මධුෂ්ලා ඩුබායිහි දී කොටුකර දීමේ සිද්ධි මූලයන් නොවේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ සිටිය දී අතාර්කික ලෙස මධුෂ් මරා දැමීම ය.
මධුෂ් ඝාතනය වන්නේ කංජිපානි ඉම්රාන්ගේ කොටසක් ද සහිත මධුෂ්ගේ මුදල් විවිධ තැන්වල ආයෝජනය කළ පුද්ගලයින්ගේ සැලසුමක් මත විය හැකි බවට ප්‍රමාණවත් සාධක යම් තහවුරුවන් සමගම පාතාලය වෙත ලැබී ඇති බවට විශ්වාසනීය තොරතුරුවලින් ප්‍රකාශ වීමය.
කුඩු පෙන්වීම සඳහා මහ රෑ මධුෂ් මාංචු පිටින් මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන යෑමට ගත් තීන්දුව මුල සිටම දැනගෙන සිටි කීප දෙනා අතර සිටි, පාතාල මර්ධනය සඳහා කෙරුණු රහසිගත විමර්ශනවලම යෙදුනු, කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙක් රටින් පැන ගොස් කංජිපානි ඉම්රාන් ඇතුළු කණ්ඩායමක් සමග එක් වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණි. දැනට තැතිගත් කණ්ඩායම්වල අප්‍රකාශිත භීතියට මේ තොරතුර හේතු වී ඇති බව පෙනුණි. දැන් පෙනෙන ආකාරයට ක්ලබ් වසන්ත ඝාතනය කරමින් පාතාල ඝාතකයින් ලබා දී ඇත්තේ මධුෂ්ලාගේ කළු සල්ලි ආයෝජනය කර ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කළ, පොලිසියේ ඉහළම නියෝග මගහරිමින් ප්‍රශ්න වැලක් ඇති කළ ඝාතනයට එක් වූ බව කියන පුද්ගලයින්ට මරණීය පණිවිඩයකි.
පණිවිඩය දැනෙන ලෙස සැලසුම් කිරීම
තේරුම් ගත යුතු කාරණය වන්නේ ඒ පණිවිඩය දැනෙන ලෙස සමාජගත කිරීමට පාතාල අපරාධකරුවන් සැලසුම් කර තිබුණු ආකාර ය. පුද්ගලික ආරක්ෂකයන් සමග යන එන පුද්ගලයෙක් වුව ද ටී 56 තුවක්කුකරුවන් ඉදිරියේ උන්ට කළ හැකි දෙයක් නැති බව ක්ලබ් වසන්ත ඝාතනය කළ අවස්ථාවේදී ඔහුගේ පුද්ගලික ආරක්ෂකයින් ජීවිතය බේරා ගන්නට පුටු මේස යට රිංගාගත් ආකාරයෙන් පෙනේ. හැන්දකට ගෑරුප්පුවකට පාවිච්චි කරනවා හැර එවන් අවස්ථාවක දී අත් බෑගවල සඟවාගෙන ඇති නීති විරෝධී රිවෝල්වරවලින් වෙනත් ප්‍රයෝජනයක් ගත නොහැකි බව ද රට දුටුවේය.
අවශ්‍ය නම් පහසුවෙන්ම වසන්තව ඔහු යන එන අතර දී ඝාතනය කළ හැකිව තිබිණි. එවැනි ප්‍රහාර ඕනෑ තරම් එල්ල වී ඇති ඉතිහාසයක් තිබේ. එහෙත් ඔහුව ඝාතනය කරන්නේ රටක අවධානය දිනාගෙන දැවැන්ත කම්පනයක් ඇති කරන ආකාරයට ය. ඒ සඳහා ඔවුන් විශාල මුදලක් වැය කර තිබිණි. ටැටූ චිත්‍රාගාරයක් පුද්ගලයෙක් ලවා ආරම්භ කරවා, ඊට ආරාධිතයෙක් ලෙස ක්ලබ් වසන්ත ගෙන්වා ගෙන සීසීටීවී සහිත අවකාශයක පලපුරුදු ඝාතකයින් දෙදෙනෙක් ලවා ටී 56 ගිනි අවි වලින් ඔහුව ඝාතනය කර මුළු ඝාතනයම පටිගත වීමට සලස්වා තිබිණි. එමෙන්ම ඝාතනය සඳහා යොදා ගත් උණ්ඩවල KPI අකුරු තුන කොටා තිබිණි.
ක්ලබ් වසන්ත මරා දැමූවේ තමන් විසින්ම බවට වූ සහිතය සහිත අකුරු තුන අප නොදන්නා පිරිසකගේ නොදන්නා ගනුදෙනුවක අවසන් ප්‍රතිඵලය ගැන සන්නිවේදනය වී තිබූ ආකාරය ගැන මිනිස්සු අවධානයෙන් බලාගෙන සිටියහ.
එමෙන්ම ඝාතකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කාර් රථය එකලස් කළ එකකි. වෑන් රථය මාස ගණනක් සඟවා තබා ඒ වෙනුවෙන්ම යොදා ගැනීමට සූදානම් කළ එකකි. ඒ වාහන දෙකම ඝාතනයෙන් පසු අත් හැර දමන්නේය. ඒ සඳහා දරන පිරිවැය ද කෝටියකට ආසන්නය. ක්ලබ් වසන්තගේ මරණය මේ තරම් ආන්දෝලනාත්මක වන්නේ මිය ගියේ ක්ලබ් වසන්ත නිසාම නොව, ක්ලබ් වසන්ත මරා දැමූ ආකාරය ය.
එම දර්ශන පෙළ යම් පිරිසක් තැතිගන්වා තිබීමත් තවත් ඝාතන පෙළක් සිදුවිය හැකි බවට පාතාලයේ ප්‍රකාශනයන් ඔස්සේ නොදන්වාම දන්වා තිබීමත් සැලකිය යුතු තත්ත්වයකි.
යුක්තිය මෙහෙයුම යන අතර මේ සිදුවීම් පෙළ ගැසෙමින් ඇත. විශාල ජාතික ධනයක් වෙන් කර, නෛතික ආවරණයක් ඇතිව, විශාල වෙඩි බලයක් සහ පිරිස් බලයක් සහිතව රට තුළ දැවැන්ත පාතාල මර්ධන මෙහෙයුමක් දියත් කර ඇති බව කියන අවස්ථාවක ටී 56 ගිනි අවි කීපයක් ඇති, සැඟවුන කුලී ඝාතකයින් කීප දෙනෙක් සිටින පාතාල අපරාධකරුවන් ඒ මෙහෙයුමට අභියෝග කරන්නේ නම් එතනත් අවුලක් පෙනේ. යුක්තිය මාධ්‍ය කියන තරම් ලොකු එකක් නොවන බව පාතාලයට එත්තු ගොස් ඇතිදැයි පුරවැසියන් ලෙස අපට සිතේ.
අවසානයේ රට ඇන්දවූ පොලිස් – දේශපාලන ව්‍යාපෘතියක් කොටස් වශයෙන් හෙළිදරවු වෙමින් ඇති බව දැනට ලියා තබමු. අප මේ සම්බන්ධව අවබෝධයෙන් සිටිය යුතු බව සිතෙන්නේ කේ.සුජීවාගේ සැමියා වූ නයන වාසුල එදිරිසූරියට සිදුවූවාක් මෙන් කොහේවත් යන වෙඩි උන්ඩයකින් ඔළුකටු කුඩු කර නොගෙන ජීවිතයේ ඉතිරි කොටස ගෙවා දැමීම සඳහා ය.









