කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ඉවත්කර දෙන ලෙස ඉල්ලා කළුතර රොහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ගණකාධිකාරීවරයාගේ අත්තනෝමතික හැසිරීම රෝහලේ කටයුතුවලට දැඩි බලපෑම් එල්ල කර ඇති බවත්, ඔහු කටයුතු කරමින් සිටින්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අධෛර්යයට පත්වන රෝහල් සේවා අඩාලවන ආකාරයට බවත් රොහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වෙත ලිඛිතව දන්වා ඇත.
කළුතර රෝහල් අධ්‍යක්ෂවරයා ඊට උදාහරණ ලෙස තමන්ගේම අත්දැකීමක් ඉදිරිපත් කරමින් කියන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කර එවා ඇති තමන්ගේ අතිකාල දීමනාවත් ගෙවිය නොහැකි යැයි ගණකාධිකාරීවරයා දැනුම් දී ඇති බවය.
ඔහු එම දීමනාව සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට නිර්දේශ කරන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා සිටී.
මෙවැනි වෛරී චේතනාවෙන් නීති විරෝධී පළිගැනීම් කරන පිරිස් සමග රෝහලක සාමුහික වගකීම ඉටු කළ නොහැකි බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා ඇත.







