ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවිකාවකට පහරදුන් බවට චෝදනා ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකාරෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද නියෝග කළේය.
මේ වනවිට ගාල්ල රුහුණු පුද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින විශේෂඥ වෛද්‍යවරයා වහාම කරාපිටිය රෝහලට මාරු කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.
අදාල පහරදීමේ චෝදනාව සම්බන්ධ පොලිසිය අද බි වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තාකර තිබිණි.
මෙම පහරදීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද (18) උදෑසන කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නොවන සමස්ථ කාර්යමණ්ඩලය විරෝධතාවයක් ආරම්භ කළේය.
පසුව විරෝධතාකරුවන් විසින් රෝහල් අධ්‍යක්ෂවයා මුණගැසී සාකච්ඡාවක්ද සිදුකරණු ලැබීය. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් විරෝධතාවය අවසන් කරණ ලෙසත් රෝහල් අධ්යක්ෂවරයා කළ ඉල්ලීමට අනුව කාර්ය මණ්ඩලය විරෝධතාව අවසන් කළේය.
කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් ඉකුත් 16 වැනිදින පැවති වැඩවර්ජනයට එක්ව සිටි අතර ඊයේ දින මෙම විශේෂඥ වෛද්‍යවරයා භාරව කටයුතු කරණ වාට්ටුවේ සේවයට පැමිණීමෙන් පසු DAT දීමනාව සම්බන්ධව ඇති වූ ගැටලුවක් මුල් කරගෙන මෙම කණිෂ්ට සේවිකාවට වෛද්‍යවරයා විසින් පහර දී ඇතැයි චෝදනා එල්ල වී ඇත.