පොලිස් මූලස්ථානය සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන යුක්තිය මෙහෙයුමේ දී අත් අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්හි බරපතල වෙනසක් නිරීක්ෂණය වී ඇති බවත් පොලිසියේ යම් කණ්ඩායමක් විසින් සංඛ්‍යා විජ්ජාවක් පෙන්වා මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් නොමග යවා ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
දෙසැම්බර් 17 සිට 31 වැනිදා දක්වා කළ යුක්තිය මෙහෙයුම් වලින් කුඩු කිලෝ කිලෝ 11යි ග්‍රෑම් 600ක් ද, අයිස් කිලෝ 08යි ග්‍රෑම් 378ක් අත් අඩංගුටවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන කියයි.
එමෙන්ම යුක්තිය හරහා ජනවාරි 01 සිට ජනවාරි 17 වැනිදා දක්වා අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝ 4යි ග්‍රෑම් 832ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6 යි ග්‍රෑම් 673කි.
ජනවාරි 01 වැනිදා සිට 17 දක්වා ග්‍රෑම් 500කට වඩා වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රට පුරාම කළ මෙහෙයුම්වලින් අත් අඩංගුවට ගෙන ඇත්තේ අවස්ථා 03ක දී පමණි.
එනම් පසුගිය 6 වැනිදා අයිස් කිලෝ 1යි ග්‍රෑම් 70ක්, ජනවාරි 11 වැනිදා හෙරොයින් ග්‍රෑම් 685ක් සහ 16 වැනිදා ග්‍රෑම් 501ක් ලෙසය.
ඒ අනුව පොලිස් මූලස්ථාන වාර්තා ප්‍රකාරව දෙසැම්බර් 17 වැනිදා සිට ජනවාරි 17 වැනිදා දක්වා මාසයකට ආසන්න කාලය තුළ යුක්තිය මෙහෙයුම මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 16 යි ග්‍රෑම් 432 කි. අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 16යි ග්‍රෑම් 51කි.
එහෙත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සිය සංඛ්‍යාලේඛණ මාධ්‍යය වෙත මුදා හරිමින් පවසන්නේ මෙහෙයුම හරහා හෙරොයින් කිලෝ ග්‍රෑම් 73යි ග්‍රෑම් 300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 206ක් අත් අඩංගුවට ගත් බවය.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව යුක්තිය මෙහෙයුම දියත් කළ මාසය පුරා හෙරොයින් කිලෝ ග්‍රෑම් 57යි ග්‍රෑම් 249ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 189 ග්‍රෑම් 949ක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.
කෙසේ වෙතත් මේ මෙහෙයුම යන අතරතුර ජනවාරි මස 04 වැනිදා නාවික හමුදාව මූලිකත්වයෙන් එකාබද්ධ බුද්ධි මෙහෙයුමක් හරහා හික්කඩුව දෙසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට ගත්තේය. වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර ප්‍රදේශයේ නාවකි සැතපුම් 28ක් පමණ දුරින් අත් අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව ජනවාරි මස 05 වැනිදා උදෑසන ගාලු වරයාට රැගෙන ආවේය. මෙම මෙහෙයුමේ දී ඇසුරුම් බර සහිතව අයිස් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 245ක් සැක කරුවන් 06 දෙනෙක් සමග අත් අඩංගුවට ගත්තේය.
නාවික හමුදාව විසින් සිදුකළ මෙම මෙහෙයුමේ දී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයත් මහජන ආරක්ෂ දෙපාර්තමේන්තුව සහ යුක්තිය මෙහෙයුමේ යම් නිලධාරීන් එම මෙහෙයුමේ ප්‍රතිඵළයක් ලෙස පෙන්වීමට යෑම නිසා මේ අර්බුදය ඇති වී තිබෙන බව මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ පොලිසියේ ආරංචි මාර්ග පැවසුවේය.
මේ තත්ත්වය තුළ ඇමතිවරයා අපහසුතාවයට පත් කරනවා පමණක් නොව මෙම මෙහෙයුමේ සැබෑ බර නැතිවී එයත් හෑල්ලුවන තත්ත්වයට පත්වන බව ද ලකුණුවලට කෑදර සමහර නිලධාරීන් විසින් සිදුකරන මෙවැනි ක්‍රියා සමස්ථ මෙහෙයුම් ක්‍රියාවලියටම ගැටලුවක් බවක් ද එම තොරතුරු මාර්ග කියයි.