ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ අද (10) සව ගින්නක් හට ගත්තේය.
සවස 6.15ට පමණ මේ ගින්න හටගෙන තිබේ.

ගිනි ගැනිම සිදුවන විට පිලිකා ඒකකයේ 28 සහ 29 වාට්ටුවල නේවාසික රෝගින් 150ක් පමණ ප්‍රතිකාර ගනිමින් සිට ඇත. .
පිළිකා ඒකකයේ දෙවැනි මහලේ ස්කැන් උපකරණ කාමරයක් තුළ මෙම ගින්න හටගත් බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය යු.එස්. පි. රංග මේ පිළිබඳ කළ විමසීමක දී ලංකාසරට පැවසීය.
මෙම ගින්නත් සමග දැඩි දුමාරයකින් වාට්ටුව වැසී ගොස් ඇත. ඒ තත්ත්වය තුළ ඔක්සිජන් ලබා දෙමින් සිටි අසාධ්‍ය රෝගීන් ද සමග පිලිකා ඒකකයේ 28 සහ 29 වාට්ටුවල සිටි රෝගින් ආරක්ෂිතව පහළට ගැනීමට රෝහල් කාර්යමණ්ඩලය විසින් කටයුතු කර තිබිණි.

පිළිකා ඒකකයේ දෙවැනි මහලේ විකිරණ අංශයේ සවිකර තිබූ වායු සමීකරන යන්ත්‍රයක (A.C) ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් වායුසමීකරණ යන්ත්‍රය ගිනි ගෙන මේ ගින්න ඇති වී තිබේ.
ගිනි ගැනීමට ලක් වීම හේතුවෙන් එම වාට්ටුවේ තිබූ පුටු සහ මේස කිහිපයක් ජනෙල් කීපයක් ගිනිගෙන විනාශ වී ඇත.

ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් ගින්න නිවා දැමීමමට කටයුතු කළේය.
නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි පිලිකා රෝගින් නැවත වාට්ටුවලට යොමුකිරිමට මේ වනවිට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.







