කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනියවන පී.කේ.ආර්.සී රණසිංහ නීතීඥයින් මගින් ගොනුකළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි විසින් අද (05) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් අතර මැදි පන්ති වලට සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියේ සැකකාරියක වූ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ හ.
පසුගිය 28 වැනි දින ආදළ නඩුව කැඳවූ අවස්ථාවේ විදුහල්පතිනිය ගේ අපේක්ෂිත ඇප අයදුම්පත සම්බන්ධ තීන්දුව 05 දින ප්‍රකාශ කරන බව අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ අපේක්ෂිත ඇප අයදුම් පත සම්බන්ධයෙන්වන තීන්දුව ලබා දෙමින් අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි විසින් එය ප්‍රතිකෂේප කරනු ලැබීය.
පාසලට ළමුන් ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛණ සකස් කර දුන් බවට දෙමව්පියන් ලබාදුන් ප්‍රකාශ පදනම් කර ගනිමින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සමඟ විදුහල්පතිනිය දුරකතන මගින් සම්බන්ධතා පවත්වා තිබෙන බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබිණි.
මෙයට අමතරව ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 50000 සිට ලක්ෂ 03 ක් දක්වා වූ මුදලක් විදුහල්පතිනියට ලබා දී තිබෙන බව දෙමව්පිය සාක්කි මගින් අනාවරණය වී ඇතැයි ද පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි,පොලිස් සැරයන් හෙට්ටිආරච්චි යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළහ.
නඩුව සැප්තැම්බර් මස 27 දින යළි කැඳවීමට නියමිතය.