මෙරට බෞද්ධ සංස්කෘතිකාංග බිඳ දමමින්, සංස්කෘතිය වෙනසක් සිදුකර සෝදාපාලුවක් ඇතිකිරීම සඳහා නොයෙක් සංවිධාන ක්‍රියා කරමින් සිටින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.
එක අලියෙක් නැවත එම රටටම ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හඬ නගා මෙරට බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමට එම පිරිස උත්සහ කරන්නේ යැයි ද උන්වහන්සේ කීහ.
මහනුවර දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී අද (05) පැවැති පෙරහර සාකච්ඡාවේ දී අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
පෙරහර නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා පෙරහරේ වැඩිපුර අලි ඇතුන් දකින්නට කැමැති වුව ද මේ අලි පෙරහරට කොහෙන්ද යන කාරණය සම්බන්ධව වැඩි පිරිසක් අවධානය යොමු නොකරන්නේ යැයි ද උන්වහන්සේ කීහ.
එහි දී අනුනාහිමියෝ මෙසේද පැවසූහ
.” මේ වනවිට අපේ රටේ පෙරහර සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමට නොයෙකුත් බාධා මතුවෙමින් තිබෙනවා. ඉන් එක් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි හීලෑ අලි ඇතුන්ගේ හිඟය. අලි බලන්න හිතාගෙනම පෙරහරට එන අය ඉන්නවා. ඒත් අලි ඇතුන් අපිට කොච්චර ඉන්නවාද කියලා හොයන්න කවුරුවත් නැහැ. පෙරහරේ අලි වැඩිය ඉන්නවා නම් හොඳයි සතුටුයි කියන්න තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. අලි 100 ක් 200 ක් පෙරහරේ ගියොත් තමයි පෙරහර හොඳයි කියන්නේ. නැටුම් නැතත් පෙරහරේ අලි බලලා සතුටු වන මිනිස්සුත් ඉන්නවා.”
“පෙරහර සඳහා ගෙනියන්න තරම් ලංකාවේ අලි ඉන්නවාද කියන කාරනය සම්බන්ධයෙන් රටේ ජනතාවට අවබෝධයක් නැහැ. එක අලියෙක් පිටරටකට අරන් ගියාම කෑගහන්න හුඟක් අය ඉන්නවා. මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න පිරිසක් නැහැ. ඒවා ගැනත් අපි හිතන්න ඕන. සතර දේවාල පෙරහරවලට අලි නැහැ. රජය වුණත් මේවා අවධානය යොමු කරන්න ඕන.”
“අපේ සංස්කෘතිකාංග බිඳ දමන්න, සංස්කෘතිය වෙනස් කරන්න,සෝදාපාළුයට ලක් කරන්න නොයෙක් සංවිධාන ක්‍රියා කරන්න පුළුවන්. ඉතිහාසය පුරා රැකගත් චාරිත්‍ර ධර්ම ඒ වගේම බෞද්ධ මුහුණුවර,බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා නොවුනොත් මේ රටේ ශාසනය, බුද්ධ ධර්මය, බෞද්ධ චාරිත්‍රය ඉදිරියට පවත්වාගෙන යෑම දුෂ්කරයි. මේවා ගැන අපි හැමෝම අවධානය යොමුකළ යුතුයි.”