මේ රටේ අපරාධ මහාධිකරණ 48 තුළ විමසෙමින් ඇති අපරාධ නඩුවලින් තුනෙන් එකක් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ නඩු බවත් මේ සම්බන්ධව අප රටක් ලෙස ලජ්ජාවට පත් විය යුතු බවත් අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ලෝකය අපේ සමාජය ගැන තක්සේරු කරන්නේ මේ දත්ත පදනම් කරගෙන බව ද අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නේය.
මේ වනවිට රටේ අධිකරණ පද්ධතිය තුළ නඩු එකොළොස් ලක්ෂ විස හය දහස් දෙසීය පනස් හයක් ඇති බව කි අධිකරණ ඇමතිවරයා , ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය තෙක් අධිකරණ පද්ධතියේ විනිසුරුවරු සිටින්නේ 399ක් පමණක් බවද හෙළි කළේය.
ඇමතිවරයා පාර්ලිමේන්තුවට මෙසේ කරුණු ඉදිරිපත් කළේය.
- “ අපේ රටේ අපරාධ මහාධිකරණ තියනවා 48ක්. එහි තිබෙනවා නඩු 29,723ක්.
- දිසා අධිකරණ 61 තුළ තියනවා නඩු 2,63,481 ක්. මහේස්ත්‍රාත් අධිකරණ පද්ධතියය තුළ නඩු 8, 30,642ක් තිබෙනවා.
- ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු1108යි.
- කම්කරු විනිශ්ඡය සභාවල නඩු 5225 තිබෙනවා.
- වාණිජ මහා අධිකරණයේ තියෙන්නේ නඩු 8376යි. ඉන් නඩු 5808ක් තියෙන්නේ බේරුම් කරණ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා. විමසිමට සාමාන්‍ය නඩු තියෙන්නෙ 2568යි.
රටේ අධිකරණ පද්ධති තුළ මේ වනවිට ඇති සමස්ථ නඩු සංඛ්‍යාව 11,27,265 යි.
මේ නඩු ප්‍රමාණය විසඳන්න රටේ අධිකරණ පද්ධතියේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ඉන්න විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 399 යි.”
මහාධිකරණයේ නඩු
මා මුලින් කී ආකාරයට . මහාධිකරණවල ඇති අපරාධ නඩු සංඛ්‍යාව 29,723ක්. ඉන් 5550ක් ළමා අපචාර නඩු. 4312ක් ස්ත්‍රී දූෂණ නඩු. ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ නඩුවල එකතුව 9862ක්. ඒ කියන්නෙ මහාධිකරණවල විභාග වෙමින් ඇති නඩුවලින් තුනෙන් එකක් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ නඩු.
අප ශ්‍රී ලාංකිකයො විදිහට ඇත්තටම ලජ්ජා විය යුතු කාරණයක්. කණගාටු විය යුතු කාරණයක්.
ලෝකයේ ඕනෑම රටක් මේ දර්ශකය දිහා බලනකොට මේ රටේ ජනතාවගේ හැදියාව පෙනෙනවා. ඔවුන් ඒ සම්බන්ධව මිම්මක් ගන්නවා මේ දත්ත දිහා බලලා.
ඊලඟට තියන වැඩිම නඩු ප්‍රමාණය මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීම. ඒ සම්බන්ධ නඩු 3286යි. විෂ මත්ද්‍රව්‍ය නඩු 3376යි. මේ දෙකේ එකතුව නඩු 6661යි. මහාධිකරණ අපරාධ නඩු සමස්ථයෙන් සියයට 22ක් විෂ මත්ද්‍රව්‍ය සහ මිනී මැරීම. මහාධිකරණයේ සියයට 55ක් තියෙන්නේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය නඩු.
මේ අපරාධ මේ අපචාර නතර කිරීම සඳහා අප පියවර ගත යුතුයි. සමහර නඩු තීන්දු සම්බන්ධව නඩු කල්යෑම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ත් අප විනිසුරුවරුන්ට දොස් කියනවා.
ඒත් විනිසුරුවරන්ට නීතිය හදන්න බෑ, ඔවුන් ඉන්නේ පතවතින නීතිය ක්‍රියාත්මක කරන්න. ඔවුන්ට ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීම තමයි පාර්ලිමේන්තුවේ ඉන්න 226 දෙනාගේ මූලික වගකීම. ඒ මූලික වගකීම නොකර අපි පාර්ලිමේන්තුවට ඇවිත් අනිත් හැම දේම කරනවා. ඊට පස්සේ විනිසුරුවරුන්ට බනිනවා.”
විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා කීවේය.