කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතර මැද පන්ති වලට ළමුන් ඇතුළත් කිරීමේ දී කූඨ ලේඛණ උපයෝගි කරගෙන ඇතැයි කියන සිද්ධියට අදාළව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සරත්චන්ද්‍ර දසනායක නැමැති සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆී හමුවේ ඊයේ (14) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර එහි දී ළමුන් ගේ භාරකරුවන් පස් දෙනෙකු විසින් ඔහුව හඳුනා ගනු ලැබූහ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එස්.බී රත්නායක ඔහුට ඇප ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු යළිත් මෙම මස 28 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මේ අතර ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පතිනිය ගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් මහ බැංකුවෙන් ලබා ගැනීම සඳහා මහනුවර පොලීසියේ වංචා විමර්ශන ඒකකය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
විදුහල්පතිනියගේ ජාතික හැදුනුම්පත් අංකයට අදාළව බැංකු හා මූල්‍ය ආයතනවල ගිණුම් ඇත්නම් ඒවා සම්බන්ධ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධව පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමෙකින් පසු අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.එස් උවින්දසිරිගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක අත්තනායක, පොලිස් සැරයන් 37262 හෙට්ටිආරච්චි අධිකරණයට කරුණු වාර්තා කළහ







