දිනසේන රතුගමගේ –
වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරීමලේ ආදී ලිංගේස්වර කෝවිලේ ප්‍රධාන පූසාරීයා ඇතුළු සැකකරුවන් අට දෙනා වවුනියාව මහෙස්ත්‍රාත්වරයා විසින් අද ( 19 ) නිදොස් කොට නිදහස් කරණු ලැබීය.
මේ පිරිසට එරෙහිව එල්ල වී තිබුණේ පුරා වස්තුවලට හානි සිදු කිරීම අධිකරණ හා පොලිස් නියෝගවලට පටහැනිව ක්‍රියා කිරීම ප්‍රදේශයේ සාමයට බාධාවක් ඇති කිරීම ජනතාව උසි ගැන්වීම ඇතුළු චෝදනා අටකි.

නෙඩුන්කේණියේ පිහිටි අතීතයේදී වඩ්ඩමාන පබ්බත විහාරය ලෙසින් හඳුන්වන ලද බෞද්ධ නටබුන් සහිත ස්ථානයට යුද සමයේදී දකුණේ පිරිසට හා පුරා විද්‍යා නිලධාරීන්ට යාමට නොහැකි වූ නිසා එම ගම්මානය අවට ජනතාව විසින් මේ ස්ථානයේ ශිව කෝවිලක් ඉදිකරගෙන ඊට වන්දනා මාන කරමින් පොංගල් පවත්වමින් කටයුතු කළහ.
යුද්ධය හමාර වීමෙන් පසුව පුරා විද්‍යා නිලධාරීන් එහි ගිය අවස්ථාවේදී පුරා වස්තුවලට හානි සිදු කරමින් කෝවිලක් පවත්වා ගෙන යාම නිසා එම නිලධාරීන් මේ පිළිබදව නෙඩුන්කේණී පොලීසියට පැමිණිල්ලක් යොමු කොට තිබේ.
පොලීසිය මේ සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයේ නඩුවක් ගොණු කිරීමෙන් පසුව මෙම ස්ථානය පිළිබඳව අයිතිය තහවුරු කෙරෙන තුරු විශාල පරිමාණයේ පූජා පැවැත්වීම සංවර්ධන කටයුතු සිදු කිරීම අධිකරණය විසින් තහනම් කළේය.
නමුත් හින්දු ජනතාව වරින් වර එම ස්ථානයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම නිසා පොලීසියට තවත් නඩු පහක් වවුනියාව අධිකරණයට ගොණු කිරීමට සිදුවිණි.
මෙම සෑම නඩුවකම අවසන් තීරණය වී තිබුණේ මෙම ස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹෙන තුරු කවර හෝ උත්සවයක් මහා පරිමාණයෙන් සිදු කිරීම හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමෙන් වළකින ලෙසය.
තත්ත්වය මෙසේ තිබියදී මෙවර මහා ශිව රාත්‍රිය දිනය එළඹ තිබුණු මාර්තු මස 8 වෙනිදා එම කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර යොදා ගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් ආලෝකය ලබා ගෙන විශාල පූජාවක් කිරීමට ගිය අවස්ථාවේදී නෙඩුන්කේණී පොලීසිය ඊට විරෝධය දක්වා අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.
එම නියෝගයේ සඳහන් වූයේ අධිකරණය විසින් කලින් ලබා දි තිබූ තීරණ වලට පටහැනිව කටයුතු කරණ පිරිස අත් අඩංගුවට ගන්නා ලෙසයි.
හින්දු බැතිමතුන් මේ කිසිදු නියෝගයක් මායිම් නොකොට බලහත්කාරයෙන් පොංගල් පූජාවක් පැවැත්වීමට යාම හේතුවෙන් ඔවුන්ව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව බන්ධනාගාර ගත කරණ ලදී.
ඔවුන්ව නිදහස් කරණ ලෙස ඉල්ලා හින්දු පූසාරිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනා වවුනියාව බන්ධනාගරය තුළ ආහාර වර්ජානයක නිරත වූවත් ඔවුගේ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් කල් නොලැබුණි.
ඔවුන්ව යළි දෙවන වතාවට වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව නිදහස් කොට තිබේ.
නෙඩුන්කේණී පොලීසිය මේ පිරිස නිදහස් කිරීමට විරෝධය පල කළ අතර පොලිස් නිලධාරීන් කියා සිටියේ ගත වූ කලය තුළ සිදු වූ සියලුම සිදුවීම් නීතිපතිවරයා වෙත යොමු කොට නීතිපතිවරයාගෙන් යම් උපදෙසක් ලැබෙන තුරු බලා සිටින වගයි.
මෙම අනඩුවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් ගමගේ නඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි නමුත් ඊට අවස්ථාවක් නොලැබුණි.







