පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය ආගම්වාදය පදනම් කර නොගත් යම් ස්ථානයක වූ හුදකලා සිදුවීමක් බැවින් විදේශ රටවල ජීවත් වන සෙසු ශ්‍රී ලාංකිකයින් මේ නිසා බියට පත් නොවිය යුතු යැයි යුධ හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව එරට අගමැතිවරයා දැනුම් දී තිබෙන මේ අවස්ථාවේ ශ්‍රී ලාංකියන් වන අප බුද්ධිමත්ව කටයුතු කරන ජාතියක් බව ලෝකයට පෙන්වන්නට අවස්ථාවක් කරගත යුතු බව යුද හමුදා පතිවරයා වැඩිදුරටත් කියයි.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කළේ අද ( 05) දළදා වන්දනාවට පැමිණීමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතමිනි.
මෙය කෲර මෙන්ම ඉතා අමානුෂික මිනිස් ඝාතනයක් බවත් ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අතර සාක්ච්ඡාවක් පැවැත් වුණු බවත් හෙතෙම අවධාරණය කළේය.
පකිස්තාන ත්‍රිවිධ හමුදාපතිවරයා තමන්ට දුරකතන මගින් කතා කර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට 200 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඊට වගකිය යුතු අයට දැඩි දඬුවම් පැමිණ විය යුතුය යන ස්ථාවරයේ අගමැති ඉම්රාන් ඛාන් මහතා සිටින බව දැනුම් දුන් බවත් යුද හමුදාපති වරයා කීවේය..







