2021 වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේ ගිනිබත්ව මුහුදේ ගිළුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වුවමනාවෙන්ම යමකු විසින් කුමන්ත්‍රණ සහගතව ගිල්ලුවේද යන සැකය තමන්ට මෙන්ම නාවික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති බොහෝ දෙනකු තුළ මේ වනවිට මතුව ඇති බවත් මේ පිළිබඳව විමර්ශන කළ යුතුව තිබූ බවත් සමුද්‍ර නීතිය පිළිබඳ ව විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පවසයි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක යෙදුණු ආචාර්ය ගුණසේකර පවසන්නේ මෙම නැව අලුත් නැවක් බවත් එය මෙවැනි ගින්නක් හමුවේ වුවද පහසුවෙන් මුහුදුබත් නොවූවද එහි ඇතුළට ජලය ඇතුළු විය හැකි පරිදි කපාටයක් ( වෑල්ව් එකක්) විවෘත කළහොත් පමණක් මෙලෙස ගිලී යන අතර එවැනි දෙයක් සිදුවූවේද යන සැකය මතුව ඇති බවත්ය.
ආචාර්ය ඩෑන් ගුණසේකර එහිදී පෙන්වා දුන්නේ මෙම නැව කොළඹ වරාය තුළට ගැනීම පිළිබඳව ගැටලු ගණනාවක් දැනට ඉතිරිව ඇති බවත් එය ගිනි බත් වීමේදී ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කළේ නම් ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවිය හැකි නිසා මෙම නැව ගිල්ලවීම ඊට වඩා ආර්ථික වශයෙන් වාසිදායක විය හැකි බැවින් මෙලෙස නැව ගිල්ලවීමට කටයුතු කළේද යන සැකයක් ඇති බවත්ය.
“ මම මේ ගැන කපිතාන්වරුන් සහ නාවික ඉංජිනේරුවන් සමඟ කතා කළා. මේක අලුත් නැවක්. එවැනි නැවක් එහෙම ලෙහෙසියෙන් ගිලෙන්නේ නෑ. මේ ගැන නිසි පරීක්ෂණයක් කරල ඇත්ත හොයා ගන්න තිබුණා, නැවේ අදාළ කොටස් තිබුණ නම් . නමුත් මේ වනවිටගලවා ගැනීමේ සමාගම් එහි මෙම තීරණාත්මක කොටස් අරන් ගිහින්. මම දන්නා තරමට නැවේ දත්ත අඩංගු කළු පෙට්ටියට සමාන ඒකකය පවා මේ වනවිට යම පාර්ශවයක් විසින් රැගෙන ගිහින් තිබෙනවා. අපේ බලධාරීන් ඊට ඉඩ දී තිබෙනවා. අප මේ සිලු තොරතුරු අනාවරණය කර ගැනීමට නම් ජනාධිපති විමර්ශන කොමිසක් පත් කළ යුතු බවට මම කිහිප වතාවක්ම යෝජනා කළා.
ශ්‍රි ලංකාවේ සමුද්‍ර නීතිය පිළිබඳ අචාර්ය උපාධියක් හිමි එකම පුද්ගලයා ලෙස තමන් මෙම නෞකා අනතුරෙන් වන්දි ගැනීම පිළිබඳව නඩුව ශ්‍රි ලංකාවේ නොපවරා සිංගප්පූරුවේ පැවරීම පිළිබඳව සිය අප්‍රසාදය පල කරන බව ප්‍රකාශ කළේය.
මෙම නඩුව ශ්‍රි ලංකාව තුළ ගොනු කිරීමෙන් වාසි ගණනාවක් අත් පත් වන බවත් සිංගප්පුරුවේදී එම වාසි එලෙසින්ම ලබා ගැනීමට අපහසු බවත් පෙන්වා දුන් අතර මෙම නඩුව යම් කිසිවකුගේ වුවමනාවට සිංගප්පූරුවට ගෙන යාමට තීරණය කර ඇති බවත් එහිදි මෙම නඩුව පරාජය වීමේ වැඩි ඉඩක් පවතින බවද ගුණසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.