සමන්ති වීරසේකර
-
දරුවන්ට ඇඳුමක් දෙනවා තියා කන්නෙත් අමාරුවෙන්
-
අපේ වත්තෙ ළමයි දහයක් විතර ඉස්කෝලෙ ගමනත් නතර කරලා…
වෙන දාට නම් හැමෝම එකතු වන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ය. තරහ මරහා සියල්ල අතහැර කෑම වේලක් කා අලුත් ඇඳුමක් බෙදාගැනීමෙන් බුලත් හුරුල්ලක් හුවමාරු කරගනිමින් එකිනෙකා අතර ඇයි හොඳයිය අලුත් කරගන්නේ මේ දවසටය. පොදු මහත් ජනතාවම සිංහල අලුත් අවුරුදු සතුට විඳින්න කැමති වුණත් මේ තියෙන ආර්ථික රටාවත් එක්ක අවුරුදු සමරන්නේ කොහොමද කියන කතාව හැම දෙනාගේම හිත් පාරමින් ඇත්තේය.
රට පුරා විසිරී සිටින කම්කරු ජනතාව මිලියන 1.3 ක්ය. මේ මිලියන ගණන් කම්කරු ප්‍රජාව විධිමත් වැටුප් ලබන්නන් සහ අවිධිමත් වැටුප් ලබන්නන් වශයෙන් කොටස් දෙදකට බෙදී සිටිති. විධිමත් වැටුප් ලබන කම්කරුවන් ලෙස රාජ්‍ය ආයතනගත කම්කරුවන් ද, පෞද්ගලික පිළිගත් ආයතනගතව සිටින කම්කරුවන් දැක්විය හැකිය. ඔවුහු නිත්‍ය වැටුපක් ලබති.
නගර පිරිසිදු කරන කම්කරුවන්
අවිධිමත් වැටුප් ලබන කම්කරු ප්‍රජාව යනු නිත්‍ය වැටුප් නොලබන්නන්ය. ඒ අතරින් මුල්තැනක් ගන්නේ නගර පිරිසිදු කරන කම්කරු ප්‍රජාවය. ප්‍රධාන නගර විසි පහ දුර්ගන්ධයෙන් තොර ලස්සන නගර ලෙස එළිය කරන්නට කැපවෙන කම්කරුවන් වූ මිනිසුන් ගණනින් හාරදහසක් තිස් පස් දෙනෙක්ය .
අතීතයේ පටන්ම මේ අය නගර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියෙහි නිරතව සිටින්නේ එය ඔවුන්ගේ නිත්‍ය ජීවනෝපාය ම කරගනිමින්ය. නමුත් දැන් මේ මිනිස්සු අතරින් බහුතරයක් දෙනා ජීවත්වන්නේ ජීවත්විය යුතු නිසා ජීවත් වෙනවා වැනි හැඟීමකින්ය. කොළඹ, මහනුවර මඩකලපුව යාපනය ගාල්ල මාතර රට පුරා මේ කොතනක වුවත් නගරය පිරිසිදු කරන කම්කරුවන්ගෙන් බහුතරයක්ම අත්විදින්නේ සමාන අත්දැකීම්ය . මේ සෑම ප්‍රධාන නගරයකම නගරය පිරිසිදු කරන කම්කරුවන් අතරින් සියයට හතලිහකට වැඩි ප්‍රතිශතයක් සිංහල ජන සමාජය නියෝජනය කරයි. සියයට තිස් හත ක ප්‍රතිශතයක් දෙමළ ජන සමාජය ද සියයට විසිපහක ප්‍රතිශතයක් මුස්ලිම් සමාජය ද නියෝජනය කරයි. එකම පීඩිත පන්තියක් නියෝජනය කරන මෙම පිරිස දැන් කබලෙන් ළිපට වැටී ඇත. ඒ පවතින ආර්ථික අසහනකාරී ජීවනරටාව නිසාය.
මේ අතර මේ ජනකොටස් අතර වන ජනවාර්ගික විවිධත්වය ජාති ආගම් අතර බැඳීම් සහයෝගීතාවය මෙන් එකිනෙකා පරයා නැගෙන සහෝදර බැඳීම මේ පිරිසට දැඩි ශක්තියක් වී තිබේ . ඔවුන් ඒ අතීතය සිහිගන්වන්නේ ආඩම්බරයෙනි.
මේ කතාව අපට කියන්නේ මඩකලපුවේ විදූෂන්ය.
මම ලබන සතියෙ රට යනවා…
” ඉස්සර අපේ අම්මා තාත්තා මඩකලපුව නගරය සුද්ධ කරන්නේ පුදුම භක්තියකින්. ඒ අය හිතුවේ වෙන කවුරුත් මේ වැඩේ හරියට කරන්න කැප වෙන්නේ නෑ කියලා. ඒ නිසාම නගරයේ අස්සක් මුල්ලක් නෑර සුද්ද පවිත්‍ර කරලා පුදුම විදියට සතුටු වෙන්නට ඒ අය පුරුදු වෙලා හිටියා. මට හිතෙන්නෙ ඒකට ලොකු හේතුවක් උනේ පොදු සමාජයේ ඒ අයට තිබුණ පිළිගැනීම.
මට මතකයි අම්මා නගර සභාවේ වැඩට ගිහිල්ලා දවල් ගෙදර එනවා. තාත්තා හවස වැඩ ඇරිල එනකොට අම්මා උනුවට කෑම හදලා තියෙනවා. ඒ අය නගර සභාවේ වැඩ ගැන විවෘතව ඒ දවස්වල කතා කරා. සල්ලි ඉතුරු කරල අපට ඉගැන්නුවා. නංගි ලොකු ළමයෙක් වෙච්ච දවසේ අලුත් රත්තරන් බඩු තෑගි කළා.
මේ ඊයේ පෙරේදා ඔය ගැන මතක් කරලා නංගි එයාගේ රත්‍රං මාලෙ උකස්කළා.. එයාගෙ දරුවට සනීප නැහැ කියලා බෙහෙත් ගන්න මේ දවස්වල සතයක්වත් අතේ නැහැ කියලා..
මම දැන් විවාහ ගිවිසගෙන ඉන්නේ ඒත් බිරිඳක් විදිහට එයාලා ගෙදරට ගේන්න මට ආර්ථික ශක්තියක් නැහැ ඒ නිසාම මං ලබන සතියේ රට යනවා.
“අපට කීයක් හරි හම්බ කරගෙන ඇවිල්ල ම මං එයාව කැන්දා ගෙන එනවා. ඒවා කවද සිද්ධවේවිද කියන්න මම දන්නෙ නෑ. .මේ වගේ පසුබිමක ඉදන් අවුරුද්ද සමරනවා කියන්නේ හීනයක් .”
මහනුවර කම්කරු වෙහෙස
මහනුවර නගර සීමාවේ පවිත්‍රතා කම්කරුවන් නිරන්තරයෙන් දැඩි වෙහෙසකට පත් වන පිරිසකි. ඓතිහාසික පූජනීය නගරයක් නිසාම විවිධ උත්සව ශ්‍රී මහා දේවාලවල පූජා නිරතුරු දක්නා ලැබෙන හෙයින් කම්කරු ජනතාවට ඔවුන්ගේ වෙහෙසකර රාජකාරිය කුමණ සාධකයක් මත හෝ අත් හරින්නට ඉඩක් නැත්තේ ය.
ඔවුන්ගේ මානසික අසහනකාරී බව සියල්ල පරයා ඉහළට එස වී තිබේ. ඊට දරිද්‍රතාවය ද එක්වූ කල ඔවුන්ගේ ජීවිතවලින් සතුට පලාගොස් ඇති බව දක්නා ලැබේ.
ඒ ගැන නුවර මාලා කියන්නේ මෙවැනි කතාවකි.
” ඉස්සර මම ගෙදර යන්නේ දරුවන්ගේ මුහුණ බලන්න ආසාවෙන්. ඒත් දැන් හැමදාම හිතෙනවා ගෙදර යන්න නැත්නම් හොඳයි කියලා. කුස්සියේ උයන්න කියලා කිසි දෙයක් නෑ. මම නම් උදේට කහට එකක් බීලා වැඩට එනවා. දරුවො ක හට බීලා ඉස්කෝලේ යනවා.”
“ළමයි ඉස්කෝලේ ඇරිලා එන්නේ දෙකට විතර හින්දා මම තුනට විතර ගෙදර යනවා ගිහිල්ලා උයනව . බඩගින්නෙ ඉන්න නිසා හැමෝම හොඳට කනවා . ඒත් ඉතිං උයන්නේ පරිප්පුයි බතුයි නැත්තම් අල හොද්දයි බතුයි කරවල කටු හොදියි බතුයි වගේ දෙයක් තමයි. මේ වගේ තත්ත්වයක් එක්ක අවුරුදු චාරිත්‍ර තියා අවුරුද්ද දවස වෙනකල්වත් කන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. ඉස්සර නම් අපි හොඳට කාල හිටියා.”
“දැන් හොඳට කන්ඩ නං ණය වෙන්න වෙනවා. ඒ වගේම තමයි තමයි ඉස්කෝලෙ යන්නෙ හරිම අමාරුවෙන්. පොත් ගිනි ගණන්.. “
“වෙනදා කූණු එකතු කරද්දී ලොකු මහත්තුරුන්ගෙ ගෙවල්වලින් අවුරුද්ද ට කියලා මොනවා හරි දෙනවා. ඇදුම් පැළදුම් කෑම බීම වගේ දෙයක් හරි.
දැන් මහත්තුරු න්ටත් අමාරුයි වගේ. කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ”
මාලා කීවාය.
විරැකියාවට පිළියම – නගර සභා කම්කරු රස්සාව
මේ මිනිස්සුන්ගේ ජීවිත වෙන සමාජ පෙරළිය පැහැදිලි වූයේ යාපනයේ වෙසෙන පිරිස හරහා ය. විරැකියාව මත තරුණ පිරිස වැඩි වශයෙන් කසල රැස් කරමින් මුදල් ඉපයීමට පෙළඹී සිටින බව දක්නා ලැබිණි. ඒ සියල්ලන්ම කොන්ත්‍රාත් කම්කරුවන් ලෙස සේවයට එක්ව සේවය කරති.
බාලචන්ද්‍රන් වයස අවුරුදු විසිතුනක තරුණයෙකි. උසස් පෙළ දක්වා ඉගෙන ගැනීමට කැමැත්තක් තිබුණ ද අට වසරේදී අධ්‍යයාපනය නිමා කොට ඇත. ඒ පවුලේ දරිද්‍රතාවය නිසාමය. රැකියා විරහිත තරුණයකු ලෙස ඔහුගේ තීරණය වී ඇත්තේ , නගර සභාවට එක්ව නගරය පිරිසිදු කොට මුදල් ඉපැයීමය.
ඔහු මේ රැකියාවට එක්වන විට ඔහුගේම වයසේ තවත් තරුණ තරුණියෝ හය දෙනකු පමණ මෙම සේවයට එක්ව සිටියහ. සියල්ලන්ම මේ කටයුතු කරන්නේ බඩගින්න නිවාගන්නටම පමණක් නොවේ. ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලය සදහා බලාපොරොත්තු පොදිබදින්නටය.
මේ වන විට යාපනයේ බහුතරයක් තරුණ පිරිසක් විරැකියාව මත පීඩා විදිති. වැඩිමනක් දෙනා කොළඹ කේන්ද්‍ර කොට ගනිමින් රැකියා ඳදහා පිටත්ව යති. යාපනයෙන් මිදෙන්නට අකැමැති තරුණ පිරිස් නගර සභා කම්කරුවකු ලෙස හෝ තාවකාලිකව හෝ පත්වීමක් ලබා යාපනයේම රැඳෙන්නට කටයුතු කරති.
දෙමව්පියන්ගේ රැකවරණය සහ තමතමන්ගේ ආර්ථික ශක්තිය රඳවා තබා ගන්නට මේ තරුණ පිරිස දැන් කසල රැස් කිරිමේ කටයුත්ත වෘත්තියක් කර ගෙන තිබේ.
වව්නියාව නගර සභාව සමග එකතු වී සිටින කම්කරු ප්‍රජාව වුවද සෙසු නගරවල කම්කරුවන් සේ ම ජාති ආගම් විවිධත්වයක් වයස අවුරුදු විස්සේ සිට පනහ දක්වාම වු විවිධ වයස් කාණ්ඩවල සංකලනයක් සමග කටයුතු කරති. ඒ ඒ වයස් මට්ටම්වල පිරිස් අත්දැකීම් ලබන්නේ විවිධාකාරයෙනි. ඒ වග පැහැදිලි වූයේ , වව්නියාවේ රාමචන්ද්‍රන් කී කතාවෙනි.
මම දැන් අවුරුදු දහයක් තිස්සේ වවුනියාව නගර සභාවේ මේ රස්සාව කරනවා මම හැමවෙලාවෙම බලන්නේ සතුටින් ඉන්න. ඒත් හිතන්නේ නැති විදිහට ණය බර හිස මත වැටෙනවා. දැනට රටේ තියෙන ආර්ථිකය එක්ක ඔලුව උස්සගන්නම බැහැ.
ඉස්සර වගේ නෙවෙයි දැන් බඩු ගොඩක් ගණන් එළවළු කරවල හාල් පොල් තුනපහ ටික ගත්තහම අතේ පිච්චියක් වත් ඉතුරු වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි බෙහෙත් ගන්න ගියත් හැමදේම පිටින් අරන් එන්න කියලා කියනවා . එතකොට හිතන්නෙ නැති තරමට වියදමක් යනවා .ළමයි ඉස්කෝලේ යනවා කියන එකත් ගෙදරකට දැන් ප්‍රශ්නයක්
.ඒ විතරක් නෙවෙයි මොනව හරි කාර්‍යාලයකින් වැඩක් කරගන්න ගියත් ඉස්සරහට දාන්න වෙන්නේ සල්ලි .ඒ හැම දේමත් එක්ක අපි හොයාගන්න පොඩි පඩිය හැරෙන්නවත් මදි . අතේ සල්ලි තියෙනවා නම් සතුට රැදෙනවා. අතේ සල්ලි නැත්තං දස අතේ ණය වෙලා හිතෙන් පවා දුක්විඳිනවා . මේක තමයි ඇත්තටම ජීවිතේ.
ජීවිත සුවපත් කරන වැඩසටහන්
අවුරුද්ද පුරාම කම්කරු ජනතාව සමග කටයුතු කරන නගර සභා කොමසාරිස්වරුන් මේ කම්කරු ජනතාව සමග කටයුතු කරන්නේ , තමන්ගේ ආයතනගත සේවක පිරිසක් ලෙස සලකා පමණක් නොවේ. ඔවුන්ගේ කටුක ජීවිතවලට සුළු හෝ අස්වැසිල්ලක් වන්නට සිතාය. ඊට සාක්ෂි සපයන්නේ , මහනුවර මහ නගර සභාවේ , නාගරික කොමසාරිස් , ඉෂාන් විජේතිලක ය. “
“මහනුවර ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයේ කම්කරුවෝ සේවකයෝ පන්සියයක් සේවය කරනවා. දෛනික පදනම මත , කොන්ත්‍රාත් පදනම මත සහ ස්ථිර පදනම මත මේ අය සේවය කරනවා. මේ මිනිස්සු වෙනුවෙන් අපි වියළි ආහාර ලබා දීමේ වැඩසටහන් , ඇදුම් බැංකු , දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පොත් පත් ලබා දීම් ඇතුළු වැඩසටහන් රැසක් වසර පුරාම ක්‍රියාත්මක කරනවා.”
ඊට අමතරව මේ පිරිසගේ සෞඛ්‍ය තත්ත්වයන් ආරක්ෂා කර ගැනීම පිණිස ඖෂධ ලබා දීමට ත් සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂා කිරිමටත් කටයුතු යොදා තිබෙනවා. මේ කාර්යය රටපුරා සියළුම නගර සභාවල සිදුවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
හරියට මූල්‍ය කළමනාකරණයක් කරනවා නම් ඔවුන් පිඩිත පන්තිය නෙමෙයි…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාගේ විග්‍රහය මත මෙම මිනිසුන් ගේ ජීවන රටාව බොහෝ විට සැලසුම් සහගත නැත. අක්‍රමවත් ආර්ථික හැසිරවීම මත ඔවුහු නිරන්තරයෙන් දුගී බව හුවා දැක්වීමට හුරුව සිටිති. මහාචාර්යයවරයා තවදුරටත් මෙම ජන කොට්ඨාසයේ දෛනික ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
“ මෙම ජනකොටස් අතර බහුලවම දක්නා ලබන ආදායම් උත්පාදන මාර්ගයක් වන්නේ , පුද්ගලිකව නිවාස මට්ටමෙන් කසල රැස් කිරීමේදි සුළු මුදලක් ලබා ගැනීමයි. උදාහරණයක් විදිහට පුද්ගලික නිවාස වල කූඩය ඉවත් කරන්නට රුපියල් පන්සියක වැනි මුදලක් ලබා ගනී. මේ අනුව එක් පුද්ගලයෙක් දෛනිකව අවම රුපියල් දෙදහස් පන්සියයකට වැඩි මුදලක් අමතරව සොයා ගනී. නමුත් මේ මුදල් වියදම් කිරීමේදි ඔවුන් එය ක්‍රමානුකුලව වියදම් කිරිමට නොපෙළඹෙයි.
බොහොමයක් කම්කරුවන් හවසට මේ මුදලින් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් අනතුරුව පවුලේ ආහාරපාන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හෝ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන සෙයක් දක්නා ලැබෙයි.
මෙම ප්‍රජාව අතරින් බහුතරයක් පිරිස , ඉතිරි කිරිමක් සදහා යොමුවන බවක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන් දිනපතා ජංගම ස්මාර්ට් දුරකථන භාවිත කරන , සැටලයිට් ඇන්ටනා සහිත රූපවාහිනි නාලිකා නිවසට ලබාගෙන රූපවාහිනි භාවිතා කරන බවක් දක්නට ලැබෙනවා.
මේවා මේ ජනතාව තමන්ගේ ආර්ථිකයේ ස්ථාවරභාවය ලෙස හෝ මූල්‍ය පරිහරණයේ ඉහළ තත්ත්වයක් ලෙස සලකන්නේ නැහැ. ඔවුන් නිතරම කල්පනා කරන්නේ ඔවුන් පීඩිත පන්තියේ ජනතාව කියා පමණයි.
ඇත්තටම ඔවුන්ගේ ආදායම් වියදම් හැසිරවීම ක්‍රමානුකූලව විධිමත්ව හැසිරවුවහොත් ඔවුන් පීඩිත පන්තියේ කියා වෙනම වර්ග කරන්න උවමනා වන්නේ නැහැ…” මහාචාර්යවරයා කීවේය.
මහාචාර්යවරයා කියන්නේ සමාජ ස්ථරයක ආර්ථික කළමනාකරණය ගැනය. මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල ආර්ථික කළමනාකරණය ගැන අප කතා කරන්නේ කසිප්පු ගැසී බේබද්දන් සේ රටක ආර්ථිකය හසුරුවා ලෝකයේ නන්නත්තාර හිඟන්නන් බවට පත් වූ රටක යාචකයින් සේ හිඳිමිනි.
ඒ පීඩනය සමාජයේ පහළම ස්ථරයට තදින්ම දැනී තිබේ. ජීවිත කැවුම් බදින්නට ගිනි වැද්දූ තෙල් හැලියක් සේ දැවෙයි. ඒ මැද වුවද ජීවිතය බෙදා ගැනීම සූදානම් මිනිසුන් හමුවීම වාසනාවක් සේ සිතමි. අවුරුද්දට බලාපොරොත්තුවක් සේ ඇත්තේ ඒ මානුෂීය හැඟීම් මාත්‍රයන් පමණි.







