ඊයේ (14) සවස ඌරුබොක්ක දම්පහල මහා විද්‍යාලයේ තරුණ ගුරුවරියක පාසල නිමවී නිවස බලා පා ගමනින් එද්දී පිහියෙන් ඇන ඝාතනය කළ ඝාතකයා පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
මෙම ඝාතකයා එම ගුරුවරියගේ පෙම්වතා බවත්, ඔහු ඇය සමග වසර 10කට ආසන්න කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් හෙළි වී ඇත.
ඌරුබොක්ක දොඩමුල්ලේ පදිංචිකාරියක වන තරුණ ගුරුවරිය ඊයේ සවස පාසල නිමවී බස් රථයෙන් පැමිණ නිවස කරා පා ගමනින් ගමන් කරමින් සිටිය දී ඝාතකයා ඇයගේ ගෙල කපා පපු ප්‍රදේශයට පිහි පහර දෙකක් ද එල්ල කර තිබේ.
සිද්ධිය වූ ස්ථානයට ප්‍රදේශවාසීන් පැමිණෙනවිට ඝාතකයා පළා ගොස් අසල තිබූ ගසකට නැග ඇති බවත්, තරුණිය ඌරුබොක්ක රෝහලට ඇතුළත් කරනවිටත් මිය ගොස් සිටි බවත් වාර්තා වේ.
පසුව එම ප්‍රදේශය වැටලූ ඌරුබොක්ක පොලිසිය ඝාතකයා අත්අඩංගුවට ගෙන තිබිණි.
සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පවත්වා ඇත. ඌරුබොක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







