ජනාධිපතිවරයා විසින් ගෙනයන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අඛණ්ඩව සහයෝගය ලබා දීමටත්, මතුවන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටත් ජනාධිපතිවරයා සහ පොදු ජන පෙරමුණ එකඟතාවයකට පැමිණි බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලේ දී ඊයේ (14) පස්වරුවේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සියලු පක්ෂ නායකයින් එක්ව පැවැත්වූ රැස්වීමේ දි මෙම එකඟතාවයට පැමිණ තිබේ.
එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වි ඇත.
එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් පෙන්වා දී ඇත්තේ, පක්ෂය දැනුවත් වීමකින් තොරව ආණ්ඩුවේ වැඩසටහන් සඳහා සිය සාමාජිකයින් හට ආරාධනා කිරීම නුසුදුසු බවය.
පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම්දීමකින් තොරව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඇතුළු නියෝජිතයින් හට විශේෂ රැස්වීමක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණි.
එම රැස්වීමට ආරාධනා ලද 45 දෙනාගෙන් සහභාගී වී සිටියේ අමාත්‍යවරු ඇතුළු 28 දෙනෙක් පමණි.
අදාළ සිදුවීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට ආණ්ඩුවේ යම් වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කැඳවීමක් සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් පක්ෂය දැනුවත් කිරීමට පියවර ගන්නා බවට එහිදි ජනාධිපතිවරයා සමග එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සඳහන් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉදිරියටත් ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර සියලු ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කර ඇත.
එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සෑම මසකට වරක් ජනාධිපතිවරයා සමග රැස්වීමක් පැවැත්වීමට ද එහිදි යෝජනා වු බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.