ජයකාන්ත ලියනගේ – බළපිටිය-
ධම්මික නිරෝෂන් ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළේය. ඔහු අපට මතක කාලයේ දිදුලන ක්‍රිකට් තරුවකි. 2002 අවුරුද්දේ 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ධම්මිකය. අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලීය කණ්ඩායමේ නාකයා ඔහුය. ඔහු දකුණතින් වේග පන්දු යැවූ කදිම පෞරුෂයක් සහිත අපූරු ක්‍රීඩකයෙක් බවත් ක්‍රිකට් අනාගතය සම්බන්ධ සුබ ලකුණු පෙන්වූ තරුණයෙක් බවත් මතකයේ තිබිණි.
ධම්මික ගැන විශේෂ මතකයක් දකුණේ අපට තිබේ. ඔහුගේ අයියාත් අම්බලන්ගොඩ ක්‍රිකට් තරුවකි. ඔහුත් දේවානන්ද විද්‍යාලයේ 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළේය. ධම්මිකගේ අයියාත් වේගපන්දු යවන්නෙකි. ඔවුන් දෙදෙනා ඒකම කණ්ඩායමේ ක්‍රීඩා කරන විට අයියා එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළ අතර මල්ලී අනෙක් අන්තයෙන් පන්දු යැව්වේය.
ධම්මික නිරෝෂණ 2002 වනවිට ජාතික තලයේ සිටි විශිෂ්ඨ යෞවනයෙකි. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 19න් පහළ ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය දරන විට ඔහුගේ උප නායකයා ජීවන් මෙන්ඩිස්ය. උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ෆර්වීස් මහරුෆ්, ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ය. ජාත්‍යාන්තර තරග ගණනාවක් ඔහුගේ නායකත්වය යටතේ තරංගලා, මහරුෆ්ලා ධම්මික ප්‍රසාද්ලා ක්‍රීඩා කළහ.

ඒහෙත් ධම්මිකට ජාතික තලය නියෝජනය කිරීමේ අවස්ථාවක් නොලැබිනි. නමුත් ඔහු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය. ධම්මික අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, චිලව් මේරියන්ස් කණ්ඩායම නියෝජනය කළේය. ගාල්ල ක්‍රිකට් සමාජය සහ චිලව් මේරියන්ස් කණ්ඩායම් නියෝජනය කරමින් ඔහු පළමු පෙළ තරග 12කට ක්‍රීඩා කළේය. ඉනිම 19ක දී ලකුණු 269ක් ලැබුවේය. ඔහුගේ පළමු පෙළ හොඳම පිතිකරණ දක්ෂතා ප්‍රකට වන්නේ සීසීසී ක්‍රීඩා සමාජය සහ ඔහු නියෝජනය කළ ගාල්ල ක්‍රිකට් සමාජය අතර 2004 නොවැම්බර් හි සීසීසී ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ය. ඔහු ඒහිදී නොදැවී ලකුණු 47ක් ලැබුවේය. එම වසරේම නොවැම්බර් මස කටුනායක ක්‍රීඩාංගනයේ දී රාගම සීසී කණ්ඩායම සමග පැවති තරගයේ දී ධම්මික ගාලු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු ඉනිමේ දී ලකුණු 33ට කඩුළු 04ක් බිඳහෙලුවේය.
පළමු පෙළ ක්‍රිඩා සමාජ අතර එක්දින තරග 08කට ඔහු ක්‍රීඩා කර තිබිණි. කෙසේ වෙතත් එක්තරා අවස්ථාවක ඔහුට ජීවිතය ගිලිහී ගොස් තිබිණි. ඒ් වැරදුන තැන කොතැනදැයි අපට තවමත් වැටහීමක් නැත.

ඔහුට ක්‍රිකට් මගහැරුණු විට ඩුබායි රටට ගොස් තිබිණි. එහි සිට පැමිණි ධම්මික යළිත් ඩුබායි බලා පිටත්වීමේ අපේක්ෂාවෙන් පසුවිය. ඔහු සමග සමකාලීන ක්‍රිකට් ක්‍රීඩා කළ උපුල් තරංග අද ජාතික තේරීම් කමිටුවේ සභාපතිය. ජිවන් මෙන්ඩිස් ද එතැනය. මහරුෆ් ජාත්‍යාන්තර විස්තර විචාරකයෙකි. ඔහු චිලව් මේරියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අවධියේ ඔහුගේ නායකයා වූ රුචිර පල්ලියගුරුගේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙකි.
එහෙත් තවමත් හේතුව නොදන්නා කාරණයකට 41 හැවිරිදි ධම්මික නිරෝෂණ ඊයේ රාත්‍රියේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබිණි. බලපිටිය රෝහලට ගෙන යන විටත් ඔහු මියගොස් තිබුණු බව වාර්තා විය. මේ පසුපස යම් පාතාල කෝන්තරයක් වී දැයි විමර්ශන අංශ සැක පහළ කරමින් ඇත. පොලිසිය පවසන්නේ ධම්මිකට අපරාධ චෝදනා කිසිවක් නොවූ බවය.

දැනට වාර්තාවන පරිදි ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගී වීමේ අරමුණ සහිතව ඔහු නිවසින් එළියට බැස තිබුණේ සැක කටයුතු පුද්ගලයෙක් නිවස අසල රැඳී සිටින බවට නිවැසියන් ඔහුව දැනුම්වත් කර තිබිය දී ය. මරණ තර්ජනයක් සම්බන්ධ විශේෂ බියක් ඔහුට තිබුණේ නම් මේ ගමන යන්නට එළියට බහින්නේ නැත.
නිවෙස අසළ ඇති පාළු ඉඩමක සිට එම වෙඩිතැබීම සිදුකර ඇති බවත් වෙඩික්කරු පළපුරුදු ඝාතකයෙක් බවට ඉදිරිපත්වන සාක්ෂික අනුව පෙනී ගොස් ඇති බවත් විමර්ශන අංශ කියයි. . යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් යතුරුපැදිය මග නවත්වා තබා ඝාතනය කර පළා ගොස් ඇති බව වාර්තා වෙයි.
දැනට මාධ්‍ය ඔස්තාර්ලා මරා දැමූ ධම්මික නිරෝෂණ පෙට්ටියෙන් එළියට ඇද යළිත් මරා දමන නිගමන සහිත සහතික නොදී මේ විමර්ශන ඉදිරියට කරගෙන යන ආකාරය පිළිබඳ සංයමයකින් තොරතුරු වාර්තා කිරීම පමණක් සිදුකරන්නේ නම් මේ ඝාතනයට සංවේදී වූ සියලු දෙනාටම පහසුය.
අප දන්නේ ධම්මික නිරෝෂන් ගැන කතාව මෙසේ නිමා වන්නට තිබුණු ඒකක් නොවන බවය. අම්බලන්ගොඩ දේවානන්ද වැනි පාසලකින් මතුවී ජාතික තලයේ නායකත්වයක් දීමට තරම් විශිෂ්ටත්වයක් පෙන්වූ තරුණයෙකුගේ ජීවිතය කෙළවර වුන තැන විමසීම සමාජය පිළිබඳ කරන ශාස්ත්‍රීය අධ්‍යයනයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.







