ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත නොවී වෙනම තරග කිරීමට උත්සාහ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් තෝරා ගැනීම සඳහා පංච පුද්ගල නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ.
ශ්‍රීලනිප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම මණ්ඩලයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් සිල්වා සහ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළත් ය.
ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් ලෙස සුදුසු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ පළමු සම්මුඛ පරීක්ෂණය හෙට (27) පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිතය.
‘ශ්‍රීලනිපයේ තනතුරු සඳහා සලකා බැලීම සඳහා දිස්ත්‍රික්ක 25 න්ම පක්ෂ ප්‍රධාන කාර්යාලයට අයදුම්පත් දහස් ගණනක් ලැබී තිබෙනවා. අපි අයදුම්කරුවන් 300 කට පමණ බදාදා උදේ 9.00 ට පක්ෂ කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස ඉල්ලා සිටිනවා’ යැයි ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් පවසා ඇත.
“උගත් තරුණ තරුණියන්ට ප්‍රමුඛත්වය දීලා ආසන සංවිධායකවරුන් ලෙස පත් කරනවා. දිස්ත්‍රික් සංවිධායකවරුන් තෝරා ගැනීමේදී දේශපාලනයේ පළපුරුද්ද ද සලකා බලනවා. කෙසේ වෙතත්, දූෂණ චෝදනා, අපරාධ ක්‍රියා සහ උසාවි නඩුවලින් තොර සමාජය තුළ පවිත්‍ර චරිතයක් තිබීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම වගකිවයුතු තනතුරක් සඳහා තෝරා ගැනීමට ඇති ප්‍රථම සහ ප්‍රධානතම සුදුසුකම බව” එම ප්‍රකාශකයා සඳහන් කළේය.