සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව පෝල්පහ ප්‍රදේශයේ දෙදරු මවකවන සිය අනියම් බිරිය ඊයේ (06) කපා කොටා ඝාතනය කළ සූරියවැව බැද්දේ වැව ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙක් වූ අනියම් සැමියා ගෙල වැල ලාගෙන මියගොස් සිටියදී අද (07) පෙරවරුවේ සොයා ගත් බව සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස ගෙළවැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ සූරියවැව බැද්දේවැව පෝල්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි. මියගිය සැකකරු විසින් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි දෙදරු මවකගේ හිස ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පළාගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පැවැත් වු අතර එහිදී අනාරවරණ වී තිබුණේ මියගිය කාන්තාව හා සැකකරු අතර කලක් තිස්සේ අනියම් සබඳතාවයක් පැවතී ඇති බවත්,දෙදෙනා අතර ඇතිව තිබූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් සිය අනියම් බිරිය ඝාතනය කර ඇති බවත්ය.
සැකකරු සිය අනියම් බිරිය ඝාතනය කිරිමෙන් පසු ඒ පිළිබදව සූරියවැව පොලිසියටද දුරකතන ඇමතුමක් දී ප්‍රදේශයෙන් පළාගොස් තිබුණි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන පැවැත්වෙමින් තිබියදී සැකකරු සූරියවැව බැද්දේවැව විහාරස්ථානය අසල ගසක එල්ලි ගෙළවැළලාගෙන මියගොස් සිටිය දී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා අපරාධ ස්ථානීය පරීක්ෂණ නිළධාරීන් කැඳවා තිබු අතර එම නිලධාරීන්ද පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවැත්වූහ. සැකකරුගේ මරණය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කිරීමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා විසින් එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූයේය.
එහිදී සිරුර පශ්චාත් මරණ පරික්ෂණය කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් වරයා සූරියවැව පොලිසියට එහිදී නියෝග කළේය.
සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බි.කීර්තිරත්න, සුරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ලලිත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ෂණ පවත්වයි.







