දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) මධ්‍යම කාරක සභාව වවුනියාවේදී පැවැත්වීමට කළින් සූදානම් කොට තිබූ නමුත් එම සමුළුව ත්‍රීකුණාමළයේදී පැවැත්වීමට 18 දා තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයෝ මත තුනකට බෙදී සිටියි.
මධ්‍යම කාරක සභා රැස්වීම 2024 ජනවාරි මස 21 වෙනි දින ත්‍රිකුණාමළයේදී පවත්වා පක්ෂය සඳහා නව නායකයෙකු තෝරා පත් කර ගන්නා බවත් පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව 26 දා රැස්වී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ 17 වෙනි සංවත්සරය ජනවාරී මස 27 හා 28 යන දිනයන්හිදී ත්‍රීකුණාමළයේදී පැවැත්වීමටත් තීරණය කළ බව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
නමුත් පක්ෂයේ කාරක සභා සාමාජිකත්වය කියා සිටින්නේ පක්ෂයේ නායකයා තේරීමට මෙතෙක් කිසිදු දිනක ඡන්දයක් පැවැත්වීමක් සිදු කොට නොතිබියදී මෙවර පමණක් ඡන්දයක් පැවැත්වීමට කටයුතු කිරීම නිසා පක්ෂය තුළ අභ්‍යන්තරිකව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.
පක්ෂය සඳහා නායකයෙකු තෝරා ගැනීම සදහා සාකච්ඡා මාර්ගයෙන් තීරණයක් ගැනීමට තවමත් ඉඩකඩ තිබෙන බව පවසන එම මන්ත්‍රීවරු කියා සිටින්නේ පක්ෂයේ දෙතුන් දෙනෙකුගේ බල තණ්හාව නිසා පක්ෂයම විනාශ වී යමින් පවතින බවය.
දැනටමත් පක්ෂයේ නායකත්වය සදහා නම් තුනක් යෝජනා වී අති බව පෙන්වා දෙන එම මන්ත්‍රීවරු ඡන්දය ආසන්න වන විට මේ තත්ත්වය තවත් වෙනස් විය හැකි බවද සඳහන් කොට සිටියි.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ත්‍රීකුණාමළය ශාඛාවට තැනක් ලැබී නොමැති බවටත් පක්ෂයට උදව් උපකාර කළ විශාල පිරිසක් නොසලකා හැර ඇති බවටත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා විශාල චෝදනාවක් එල්ල කිරීමෙන් පසුව ඔවුන් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ත්‍රීකුණමළයේ පැවැත්වීමට තීරණය කොට ඇති බවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු චෝදනා කොට සිටිති.
ඔවුන් කියා සිටින්නේ මේ අවස්ථාවේදී පක්ෂයේ පුද්ගලයින් සැනසවීම නොව පක්ෂයේ ස්ථාවරත්වයක් ඇති කොට රජය සමග සාකච්ඡා කොට දෙමළ ජනයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.







