අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුරා පැය 07ක් තිස්සේ කළ ප්‍රශ්නකිරීමකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) රාත්‍රියේ අත් අඩංගුවට ගනු ලැබුවේය.
ඉමියුනොග්ලොබියුලින් අපරාධය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිම සඳහා අද දහවල් 1ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සමන් රත්නායකගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගන්නේය.
ඊයේ (29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී ප්‍රශ්නගත අපරාධය සම්බන්ධ මුල් ගොනු අස්ථානගත කිරීමේ චෝදනා මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
ප්‍රශ්නගත ගනුදෙනුවල මුල් ගොනු අස්ථානගත වීම සඳහා වගකිව යුතු තැනැත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක බව නියොජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඊයේ අධිකරණයට පැවසුවාය.
නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නේ වෛද්‍ය සමන් රත්නායක විමර්ශන කටයුතු මගහැර යන ආකාරයේ බොරු කියන බවය. පෞද්ගලික කටයුත්තක් සඳහා ඊයේ සහ අද නිවාඩු ගෙන සිටින බවත් තමන් ඉන්නේ වනාත විල්ලුවේ බවත් ප්‍රකාශ කරමින් වෛද්‍ය සමන් රත්නායක විමර්ශන නිලධාරියෙක් වෙත කෙටි පනිවිඩයක් යවමින් දන්වා ඇතත් ඊයේ සවස් වනතුරුම ඔහු තම කාර්යාලයේ රැඳි සිට ඇතැයි නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරිය හෙළි කළාය.
එමෙන්ම සමන් රත්නාය තාවකාලිකව පදිංචි බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ලිපිනය ව්‍යාජ බව ද ඇය අධිකරණයට දැනුම් දුන්නා. ඒ හේතුව නිසා ඔහුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට වැඩිදුර ප්‍රකාශයක් ලබා දෙන්නැයි ඔහුගේ කුරුණෑගල ලිපිනයට ගොස් දැන් වූ බවත් එම දැන්වීම සමන් රත්නායකගේ බිරිය භාරගත් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.
මේ කරුණු සලකා බලා අද උදෑසන 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට නියෝගයක් නිකුත් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.