අමායා උඩුවැරැල්ල –
මනුෂ්‍යත්වයේ අඳෝනාව තීව්‍ර කරමින් ගාසා තීරය ගිලගත් අශිෂ්ඨ ම්ලේච්ඡත්වය තවම නැවතී නෑ. බටහිර තිරිසන්කමේ රැකවරණය යටතේ තවමත් ඊශ්‍රයාලයේ සමූහ ඝාතන ක්‍රියාත්මකයි. අපට මානව හිමිකම් ගැන උගන්වන්න එන නිරුවත් වානරයින් ශිෂ්ඨාචාරයේ ඉතිහාසය ආපස්සට හරවා තියනව බව යළිත් වේදනාවෙන් ලියා තබනවා.
බ්‍රහස්පතින්දා එනම් ඊයේ (29) දිනයේ දී ඊශ්‍රායල හමුදාව විසින් සිදු කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් සියයකට අධික සංඛ්‍යාවක් මිය ගිහින්. ගාසා තීරයේ සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ආධාර රැගෙන පැමිණ තිබූ ට්‍රක් රථ වටා පාන් කෑල්ලක් ගන්නට රැස්ව සිටි කුසගින්නේ පෙළෙන අසරණ පලස්තීන ජනතාවට මෙසේ වෙඩි ප්‍රහාර එල්ල කර ඝාතනය කර ඇති බවයි.
ඊට වඩා කාලකණ්ණි කතාවක් අපට අහන්න ඉතිරි වෙලා නෑ… ජීවිතය පමණක් ඉතිරි කරගෙන ඉන්න නිරායුධ අසරණයින් බඩගින්නට කෑම ටිකක් ගන්න ආධාර ට්‍රක් එකක් ලඟට එකතු වුනාම ඒ මිනිස්සුන්ව වෙඩි තියලා මරන්න පුලුවන් විදිහේ යුද්ධයක්… ඒ වගේ යුද්ධයකින් දිනා ගන්න පුලුවන් මොනවද කියන ප්‍රශ්නය දැන් ලෝකය ඉදිරියට ඇවිත්.
ගාසා නගරය ආසන්නයේ වූ මෙම සිදුවීමෙන් සියයකට අධික පිරිසක් මිය ගොස් තවත් 280 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධව විවිධාකාරයේ වාර්තා පල වෙමින් තිබෙනවා. ඊශ්‍රායල හමුදාව විසින් ආධාර අපේක්ෂාවෙන් සිටි පිරිසට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කර ඇති අතර පුද්ගලයන් බොහෝ දෙනෙක් මිය ගොස් ඇත්තේ තදබදය නිසා හෝ ඉදිරියට ධාවනය කිරීමට උත්සාහ ගත් ට්‍රක් රථවලට යට වී බව පවසා තිබෙනවා.
තවත් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුනේ සොල්දාදුවන් වෙඩි තැබුවේ ට්‍රක් රථවලින් ඉවතට ගොස් මුරපොලකට තර්ජනය කළ කුඩා කණ්ඩායමකට පමණක් බවයි.
ගාසා තීරය තුළ සති කිහිපයකින් සිදු වුනු ලොකුම විනාශය මෙයයි. සටන් විරාමයක් පිළිබඳව සහ තමන් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ අරමුණින් කටාර් හි පැවැත්වෙන සාකච්ඡාවලට මෙම සිදුවීමෙන් බලපෑමක් ඇතිවනු ඇති බව හමාස් සංවිධානය පවසනවා. එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ද ඒ හා සමාන මතයක් දරන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊශ්‍රයාල පැහැදිලි කිරීම
කෙසේවෙතත් සිදු කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල නිලධාරියෙකු ද ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එදින මීටර සියගණනක් දුරින් සිදුවීම් දෙකක් සිදුව ඇති බවයි. පළමුවන සිදුවීම නම්, ට්‍රක් රථවලින් ආධාර ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වුනු තෙරපීම නිසා විශාල පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවයි.
ට්‍රක් රථ ඉවතට යාමත් සමඟ දෙවන සිදුවීම සිදු වූ බව, එනම් රැස්ව සිටි සමූහය තුළ සිටි ඇතැම් පුද්ගලයින් අනවශ්‍ය කලබලකාරී ලෙස හැසිරෙන බවට හැඟුණු භට පිරිස් ඔවුන් වෙත ළඟා වී වෙඩි තබා මරා දැමූ බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.
ගාසා බලධාරීන් විසින් නිවේදනය කර තිබෙන ජීවිත හානි සංඛ්‍යාව ඔහු පිළි නොගත් නමුත් ඔහු විසින් කිසිදු ජීවිත හානි සංඛ්‍යාවක් ලබා දුන්නේ ද නෑ. පසුව පැවති සාකච්ඡාවකදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පවසා සිටියේ ට්‍රක් රථවලින් ආධාර සැපයුම් ඉවත් කිරීමේ දී ඇති වූ තෙරපීම හේතුවෙන් බොහෝ මරණ සහ තුවාල ඇති වූ බවත් පසුව පිරිස විසුරුවා හැරීම සඳහා අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බවත් ය.
ලෝක අප්‍රසාදය
පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර ඇති අතර ප්‍රංශ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Christophe Lemoine පවසා තිබුනේ සිවිල් වැසියන්ට ආධාර බෙදා හැරීමේ දී ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලය වගකිව යුතු බවයි.
ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ ඇති ව තිබූ තත්වය පෙන්නුම් කරන වීඩියෝ පට සමාජ මාධ්‍යවලට බෙදා හැර ඇති අතර එම වීඩියෝ පට වල බොහෝ මළ සිරුරු මෙන්ම තුවාල ලැබූ පුද්ගලයින් පටවා ඇති ට්‍රක් රථ පෙන්නුම් කර තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූ රෝගීන්ට රෝහල් බිමේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන ආකාරය දැක්වෙන වීඩියෝ පට ද අන්තර්ජාලයේ සංසරණය වනවා.
පලස්තීන සෞඛ්‍ය අංශයට අනුව මාස 05 කට ආසන්න කාලයක් තුළ යුද්ධය නිසා පුද්ගලයන් 30000 ඉක්මවූ සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. එමෙන්ම ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ මේ වනවිට සුන්බුන් බවට පත් වී ඇති අතර එහි මිලියන 2.3 ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් එක් වරක්වත් අවතැන් භාවයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.