අද දහවල් 12ට පමණ අහුංගල්ලේ දී හෝටලයක් තුළ මරා දැමූ කොස්ගොඩ සුජීගේ සමීප ඥාතියෙක්වන ජෝතිමුණි නීල් කුමාර හෙවත් පච්චා මංජු නැමැති ත්රී රෝද රථ රියදුරා කිසිම අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බවත්, ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත්තේ කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් වීම නිසා පමණක් බවත් විමර්ශන අංශ මූලික විමර්ශනවල දී හෙළි කරගෙන ඇත.
මේ වනවිට මිය ගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ. බලපිටිය මහේස්ත්රාත් ආර්.ඩී.ජානක අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව දේහය බලපිටිය රෝහලට ගෙන ගොස් ඇත.
දකුණේ පාතාල කල්ලි දෙක්කවන ලොකු පැටීගේ සහ කොස්ගොඩ සුජීගේ කල්ලි දෙක අතර ඇති ගැටුම මේ වනවිට අතිශය තුච්ඡ තැනකට වැටී ඇත්තේ එක් කල්ලියකට රිදවීම සඳහා කිසිම අපරාධ සම්බන්ධයක් නැති අහිංසක පුද්ගලයින් සොය සොයා ඝාතනය කරන මට්ටමකට යමිනි.
දැනට රටේ වෙඩි තැබීම් බහුලවම සිදුවන බස්නාහිර සහ දකුණු පළාත් දෙක අතරින් වැඩිම වෙඩි තැබීම් ප්රමාණයක් වාර්තා වෙමින් ඇත්තේ දකුණු පළාතෙන්ය. ඊට ප්රධාන හේතුව වී ඇත්තේ මෙම පාතාල කල්ලි දෙක අතර ඇති වී තිබෙන ගැටුමය. අද මෙම පුද්ගලයා වෙඩි තබා ඝාතනය කරන්නේ කොස්ගොඩ සුජීට රිදවීම සඳහා ලොකු පැටීගේ කණ්ඩායම විසිනි.
වෙඩි තැබිමට ඝාතකයන් පැමිණෙන ආකාරයත්, ඔවුන් නිදහසේ ඝාතන ඉලක්කය තහවුරු කරගන්නා ආකාරයත්, අනතුරුව වෙඩි තබා ඝාතනය කර පලා යන ආකාරයත් සීසීටීවී දර්ශනවල පැහැදිලිව සටහන් වි තිබේ.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඝාතනය වූ පුද්ගලයාගේ හිසට එක් වෙඩිල්ලක් පමණක් තබන ඝාතකයා පතොරොම් කොපුව ද අහුලාගෙන පිටවි යන ආකාරය එම සීසිටීවී දර්ශනවල සටහන්ව ඇත.
ඝාතකයන් කවුදැයි තවම හඳුනාගෙන නැති බව පොලිිසිය පවසයි. මීට මාස දෙකකට පමණ පෙර මිය ගිය පුද්ගලයාගේ සහෝදරයෙක් ඝාතනය කිරීමට කුලී ඝාතකයන් පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී මේ පුද්ගලයාගේ සහෝදරයා ජීවිතය බේරාගෙන තිබිණි.