ශ්‍රියානි විජේසිංහ –
ඉමියුනෝග්ලෝබියුලින් ( Immunoglobulin) එන්නත සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණ වාර්තාව මේ වන විට නිකුත් වී ඇති නමුත් අධිකරණ කටයුත්තක් සිදුවෙන බැවින් ඒ පිලිබදව කිසිදු ප්‍රකාශක් ප්‍රසිද්ධ කිරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
මෙම එන්නත පිලිබඳ පරික්ෂණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්වපාලන රසායනාගාරය තුළ හා වෛද්‍ය පර්යේෂණායතනයේ රසායනාගාරයන් තුළ සිදු කර ඇති බවද හෙතෙම පැවසුවේය.
ඉමියුනෝග්ලොබියුලින් පරික්ෂාව සිදු කර ඇත්තේ මෙම වංචනික ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරීවරයාව එම තනතුරෙන් ඉවත් කර වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබියදී වීම කොතරම් සාදාචාරාත්මක දැයි යන්න පිලිබඳව අද සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යෙවේදියෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී ඔහු සඳහන් කළේ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂෙවරයා ලෙස පත් කිරිමට පෙර අදාල රසායනාගාර වාර්තාව නිකුත් වු බවය.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකරන බවත් රාජ්‍ය නිලධාරියෙකු හිටිහැටියේ ඉවත් කළ නොහැකි බවත් ඒ සදහා නිසි වැඩපිළිවෙළක් තිබෙන බවත් ඒ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය







