පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මීට සුළු වෙලාවකට පෙර වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇත. ඔහු ඝාතනය කිරීමේ අරමුණින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිය ආධාරකරුවන් සමග ඉස්ලාමාබාද් අගනුවර පාගමනක් අතරතුර එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් හිටපු අගමැතිවරයා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පාකිස්තානයේ Dawn පුවත්පත අද වාර්තා කළේ ඉම්රාන් ඛාන් රැගත් වාහනය වසිරාබාද් ( Wazirabad) හරහා යද්දී නාඳුනන තුවක්කු කරුවන් විසින් ඔහුට වෙඩි තැබූ බවයි.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි ප්‍රහාරය හිටපු අගමැති ඛාන්ගේ කකුලට වැදී ඇති බවය.
පකිස්තාන ප්රවෘත්ති නාලිකාවක් වන ARY වෙඩිවැදුන හිටපු අගමැතිවරයා පිරිසක් මැදින් රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් විකාශය කර ඇත..
ඔහුගේ කකුල වටා වෙළුම් පටියක් බැඳ ඇති අයුරු එම දර්ශනවල දැක්විණි.
ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ෆාරුක් හබීබ් පවසා ඇත්තේ “ඉම්රාන් ඛාන් තුවාල වී ඇත, අල්ලාහ් ඔහුව ආරක්ෂා කරයි, මුළු ජාතියම ඉම්රාන් ඛාන්ගේ ජීවිතය වෙනුවෙන් යාච්ඥා කළ යුතුය.” යනුවෙනි.
ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ප්‍රකාශක අසාර් මාෂ්වානි පැවසුවේ හිටපු අගමැති “ආරක්ෂිත” බවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
මෙම සිදුවීමෙන් තවත් කීප දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.







