ඉඳුනිල් කහටපිටිය –
ඉනිමක ජයග්‍රහණයක් ලැබීමට තිබූ සම්භාවිතාව අතහැර පිතිකරුවන් ඉතා අපහසුතාවයට ලක් කරන ආකාරයෙන් හැසිරෙමින් තිබුණු චිතගොන් ෂාහුල් සහිඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ දී ලකුණු 354ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගය ලබා දීමට නැවත පිතිකණයට නොකැඳවා දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්නට තීන්දු කලේ වේග පන්දු යවන්නන්ට අවශ්‍ය විවේකය ලබා දීමට අවශ්‍ය නිසා බව අද ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු දර්ශන ගමගේ පැවසුවේය.
තරගය අවසානායේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී රටම විමසා සිටින මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ලකුණු 500ක ඉලක්කයක් ලබාදීමත් දින දෙක තුළ ඇති කාර්තු 06 තුළ සැලසුම් සහගතව ක්‍රිඩා කර පන්දු යවන්නන්ට අවශ්‍ය විවේකය ලබා දීමත් කළමනාකාරිත්වයේ අරමුණ වූ බව ඔහු පැවසුවේය.
ප්‍රවීන ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියන්නේ ශ්‍රී ලංකාව නැවතත් පන්දුවට පහර දීමට ගත් තීරණය තේරුම් ගත හැකි බවය. වේග පන්දු යවන්නන්ට විශාල පන්දු ඕවර ප්‍රමාණයක් යැවීමට සිදුවන බව පෙනෙන තරගයක දී පවතින අධික උෂ්ණත්වය සහිත පරිසරය ගැන අවධානය යොමු කළ යුතු බව ඔහු කියයි. විවේකයක් සහිතව ශක්තිමත් වී අවසන් ප්‍රහාරයට සැරසීම ප්‍රමුඛතාවය බව ඔහු පෙන්වා දෙන්නේය.
එහෙත් එම සැලසුම මේ වනවිට බරපතල ලෙස විවේචනය වෙමින් ඇත්තේ සහේතුක කාරණාත් සමගය.
අද දවස තුළ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ පන්දු ඕවර 68.4කි. ඉන් පන්දු ඕවර 24ක් යැව්වේය. ධනංජය සිල්වා පන්දු ඕවර 7ක් යැව්වේය. පන්දු ඕවර 68.4න් ඕවර 31 යවා තිබුණේ දඟ පන්දු යවන්නන්ය. වේගපන්දු යවන්නන් තුන් දෙනාම යවා තිබුණේ ඕවර 37.4 කි. විශ්ව ප්‍රනාන්දු පමණක් ඕවර 16ක් යැව්වේය. ලහිරු කුමාර ඕවර 11කි. අසිත ප්‍රනාන්දු ඕවර 10.4කි. අසිත සහ ලහිරු යවා තිබුනේ ටෙස්ට් ඉනිමක වේග පන්දු යවන්නෙක් යවන පන්දු ඕවර ගණන නොවේ. එක්දින තරගයක වේග පන්දු යවන්නෙක් යවන පන්දු ඕවර ගණන හා සමාන පන්දු ඕවර ගණනකි.
දිනයේ තව යවන්න තිබුනේ පන්දු ඕවර 25කි. මෙයින් එක් පන්දු යවන්නෙකුට අද පන්දු ඕවර 5 බැගින් අඩුම තරමින් යවන්න තරම් ශක්තියක් නැති බවත්, ඔවුන් විවේක ගැන්විය යුතු බවත් සිතන්නට අපට දැන් කණ්ඩාමේ පරිපාලනය බල කරන්නේය.
දෙවැනි කාරණාව නම් පලමු ඉනිමේ ලබා ගත් ඉහල ගෞරවය මේ තීන්දුවත් සමග හැල්ලු වීමය. පිතිකරුවන් දැවී ගියේ පෙරහර යනවා සේය. මේ ජයග්‍රහණය කාසියේ වාසිය නිසා ලද එකක් මට්ටමට ඇද වැටුනේ දෙවැනි ඉනිමේ දි ලකුණු 86ට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 06ක් දැවී ගිය පසුය. අපට හිතුනේ ඇත්තටම විවේකය අවශ්‍යව තිබුණේ පිතිකරුවන්ට බවය.
අහවල් විවේකයක් දැයි සිතෙන්නේ පන්දු ඕවර 20ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් 6 දෙනෙක් දැවී යෑමත් සමගය. දැන් ශ්‍රි ලංකා පිලේ සිටිනා එකම ප්‍රමුඛ පෙළේ පිතිකරුවා මැතිව්ස් පමණය. මැතිව්ස් පන්දුවට පහර දෙන්නේත් අවිශ්වාසනීයවය. අනෙක් අන්තයෙන් ඔහු සමග අද දිනය නිමා කලේ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ය. අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බංගලාදේශ කණ්ඩායම යැවූ පන්දු 150න් පන්දු 17කට මුහුන දුන්නේ ප්‍රභාත් ය.
දැන් පෙනෙන හැටියට ශ්‍රි ලංකා දෙවැනි ඉනිම ලකුණු 150ක් දිගට යන්නේ නැත. මේ කළමනාකාරිත්වය කියන ලකුණු 500 මොකක්දෝ එක ගන්නට තව ලකුණු 45ක් අවශ්‍යය. එය ලබා ගැනිමත් දැන් පෙනෙන ආකාරයට පහසු නැත.
තරගය ජයග්‍රහණය කිරිමේ ඉතා වැඩි සම්භාවිතාවක් දැනටත් ඇත. එහෙත් දැන් ඒ ජයග්‍රහණයේ ගෞරවය යම් පමණකට හායනය වී ඇත. හිතට දුක ඒකය.







