ක්‍රීඩාලෝලීන් පමණක්වන අපට නොතේරෙන ක්‍රමයක් අත්හදා බැලුවාදැයි නොදනිමු. ලකුණු 531ක් මුල් ඉනිමේ ලබාගෙන ප්‍රතිවාදී කණ්ඩායම ලකුනු 178කට දවා ගත් විට දෙවැනි ඉනිමක පිතිකරණයක් සඳහා සැරසෙනු ඇතැයි සිතුනේ නැත.
ශ්‍රි ලංකා කන්ඩායම හිටියේ මුල් ඉනිමේ වාසිය ලෙස ලකුණු 354ක් ඉදිරියෙනි. එහෙත් ඉනිමක අභියෝගය භාර නොදී දිමුත් සහ මධුෂ්ක පිතිකරණයට එවීමට කළමනාකාරිත්වය සහ නායකත්වය එක්ව තීරණය කිරීම අපව තිගැස්සූ බව ලියා තැබිය යුතුය.
බංගලාදේශය අද තරගය ආරම්භ කළේ ලකුණු 96කට කඩුල්ලක් ලෙස තිබිය දීය. අද තණතීරුව හැසිරුනේ මුලුමනින්ම පන්දු යවන්නන්ට ගැලපෙන ලෙසය. ඉතිරි බංගලි කඩුලු 09ම තවත් ලකුණු 82ක් පමණක් ලබා ගත් ඕවර 35.5ක් තුළ දැවී ගියේය.
ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් මනරම් වික්‍රමයක් කළහ විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගත්තේය. අසිත ප්‍රනාන්දු කඩුළු 04ක් ලැබුවේය.

354ක් ලකුනු අන්තරයක් සහිතව සිටියදීත් දෙවැනි ඉනිම පිතිකරණය තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම අද බංගලාදේශ කණ්ඩායම ලැබූ ආකාරයේම බිහිසුණු වේගපන්දු ප්‍රහාරයකට ලක් වූයේය. හසන් මහමුද් ලකුණු 51ට කඩුලු 04කි. ඛලේඩ් අහමඩ් ලකුණු 29ට කඩුළු 02කි. ශ්‍රි ලංකා කණ්ඩායම තුන්වන දිනයේ මුහුණ දුන් පන්දු ඕවර 25 තුළ ලකුණු 102කට කඩුළු 06ක් දැවී ගොස්ය. දිනය පුරාම ලකුණු 184කට කඩුළු 15ක් දැවී ගොස්ය. දෙවැනි ඉනිම පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළේ නම් මේ තණතීරුවේ මොනතරම් විපුලත්වයක් ලබා ගන්න තිබුණාදැයි මැච් බලන අපට හිතෙනවා සාධාරණය. එහෙත් දැන් ඒ සියල්ල අහවරය.
දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් පිළිවෙලින් මහමුද් සහ ඛලීඩ් විසින් එවු පන්දුවලට කඩුලු කුඩු කරගත්තේය. පළමු ඉනිමේ ශතකය ආසන්නයේ දැවී ගිය දිමුත් යළිත් ඒ වරද නොකරන බව කීවේය. නමුත් ඒ වරදම ඒ ආකාරයෙන්ම කර ඔහු දැවී ගියේය. පිට ඉන්නෙන් ඉවත යන පන්දුවක් පිත්තේ දැවටී දිමුත් දැවී ගිය ආකාරයමට කුසල් ද ඛලීඩ් එවූ පන්දුවකට කඩුල්ල කුඩු කරගත්තේය. මෙවර දිමුත් ලකුණු 4කි. කුසල් ලකුණු 2 කි.
අනතුරුව මහමුද් ගේ අනුයාත පන්දු ඕවර තුනක දී නිශාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය පිට පිටම දැවී ගියහ. නිශාන් ඉනිමේ 12.5 වැනි පන්දුවේ දි මේදි හසන් මිරාස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඔහු ලකුණු 34ක් ලැබුවේය. දිනේෂ් චන්දිමාල් මහමුද්ගේ ඊලඟ පන්දුවාරයේ දී ෂහාදත් හොසේන් වෙත උඩ පන්දුවක් ලබා දී ලකුණු 6කට දැවි ගියේය. ඒ ඉනිමේ 14.4 වැනි පන්දුවේ දි ය. අනුයාත ඉනිම තුනක දී විශිෂ්ට ක්‍රිඩා විලාශයක් පෙන්නූ ධනංජය දැවී යන්නේ ලකුණු 1කට ය. ඒ මහමුද් යවන ඉලඟ ඕවරයේ 3වන පන්දුවටය. ඒ ඉනිමේ 16.3 පන්දුවේ දිය.

කමිඳු මෙන්ඩිස් දැවී යන්නේ ලකුණු 09කට ය. කඩුල්ල ඛලීඩ්ගේය. බංගලාදේශ පන්දු යවන්නන්ගේ පෙනුනේ තරගය වින්දනය කරන උද්ද්‍යෝගයකි. එක් අවස්ථාවක, ස්ලිප් හි පන්දු රකින ක්‍රීඩකයින් පස් දෙනෙක් පන්දුවක් රැක ගැනිමට හතරේ සීමාව දක්වා තරගයට දිව ගිය ආකාරය දුටුවෙමු. ප්‍රේක්ෂාගාරයේ සිටි සීමිත ප්‍රේක්ෂක පිරිස එම දැකුම වින්දනය කරන ආකායර දැකිය හැකි විය.
තුන්වන දිනය වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 455ක් ඉදිරියෙනි. දැවී යෑමට අවස්ථා ලබා දෙමින් ඈන්ජලෝ මැතිව්ස් සිය ඉනිම නොදැවී ගොඩ නගන්නේ වාසනාවත් සමගය. මැතිව්ස් පන්දු 50කට මුහුණ දී ලකුණු 39ක් ලබාගෙනය. හතරේ පහර 3ක් ඒ ලකුණු 39ට ඇත. ඔහු සමග ප්‍රභාත් ජයසූරිය එක්ව සිටින්නේය. ප්‍රභාත් තමන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බව ඉඟි කරන ආකාරයේ පිතිකරණයකට එඑළඹී ඇත. ඔහු පන්දු 17කට දැඩි පීඩනයක් යටතේ මුහුණ දී නොදැවී ලකුණු 03ක් ලබාගෙන හිඳී.
ලකුණු එන්නේ දැඩි ආයාසයෙනි. ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 102ට කඩුළු 06කි. ඉලක්කය ලකුණු 500ක් ලබා දීම විය හැකිය. නමුත් ඒ සඳහා ලබා ගත යුතු තවත් ලකුණු 45ක් යනු පහසු නැත.
කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණය පිළිබඳ පූර්ණ විශ්වාසය මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සතුව බව පෙනෙන්නේ තණතීරුව හැසිරෙන විලාශය සහ ඔවුන් විසින් ලබා දීමට නියමිත විශාල ඉලක්කය සමග බලන විටය.
බොහෝ විට මේ තරගයත් දින 05ක් දක්වා ගියොත් මරුය. පේන විදිහට හෙට තරගය අවසන් වන ලකුණු පහළ වී ඇත.







