පුද්ගලයින් 140 කට අධික පිරිසකට මරු කැඳවූ මොස්කව් හි ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් විසින් රුසියාවට ත්‍රස්තවාදී මෙහෙයුමක් පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කල බව ඉරානය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නමුත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ එවැනි අනතුරු ඇඟවීමක් ගැන තමා දැන නොසිටි බවයි.
ඉරානය පවසන්නේ මොස්කව් හි සිදු වූ ප්‍රහාරය, ඉස්ලාමීය රාජ්‍යයේ ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ISIS-Khorasan හෙවත් ISIS-K හි ත්රස්තවාදීන් සිදු කළ බවයි. ඵලෙස ප්‍රකාශ කරන්නේ තම රට තුළ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාරවලට අදාල සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු අනුව බවත් ඔවුන් දක්වා තිබෙනවා.
මෙම වසර මුලදී 100 දෙනෙකුට පමණ මරු කැඳවමින් ඉරානයේ කර්මන් නගරයේ විශාල බෝම්බ පිපිරීමක් සිදු වූ අතර ඉන් පසුව ටෙහෙරානය ප්‍රහාරයට සම්බන්ධ ISIS-K සාමාජිකයින් 35ක් පමණ රඳවා තබා ගෙන තිබෙනවා. එහිදී සිදු කල ප්‍රශ්න කිරීම් වලදී ISIS-K සමාජිකයන් ට රුසියාවේ සැලකිය යුතු මට්ටමේ මෙහෙයුමක් සඳහා සූදානම් වන ලෙස උපදෙස් ලබා දී ඇති බව අනාවරණය වූ බව ඉරානය වාර්තා කර තිබෙනවා.
රුසියාව වෙනුවෙන් අදහස් දැක්වමින් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ප්‍රහාරයට පෙර ඉරානයෙන් එන අනතුරු ඇඟවීම් පිළිබඳව තමා කිසිත් නොදන්නා බවයි. ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ත්‍රස්තවාදී කණ්ඩායමේ ශාඛාව ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු සමූල ඝාතනයේ වගකීම භාරගත් අතර ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරය පිටුපස සිටි එකම වැරදිකරු ISIS-K බව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අවධාරනය කර තිබෙනවා.
කෙසේ වෙතත් රුසියාව, මොස්කව් ප්‍රහාරයට ISIS-K සම්බන්ධ බවට තවමත් නිශ්චිත ලෙස පිළිගෙන නොමැති අතර ඔවුන්ගේ මුලික සොයාගැනීම් වලින් පෙන්නුම් කරන්නේ යුක්රේනය සහ අනෙකුත් පාර්ශවයන් මීට සම්බන්ධ වී ඇති බවයි. රැඩිකල් ඉස්ලාම්වාදීන් විසින් ප්‍රහාරය සිදු කළ නමුත් එහි සැබෑ මහ මොළකරු තවමත් තහවුරු කර නොමැති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වන රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවයේ (FSB) ප්‍රධානී ඇලෙක්සැන්ඩර් බෝට්නිකොව්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුක්රේනය මෙම සංහාරයට සම්බන්ධ විය හැකි බව පවසනවා.
ඊයේ එනම් සඳුදා දින රුසියානු විමර්ශන කමිටුව නිවේදනය කළේ යුක්රේනය සහ එක්සත් ජනපදය ඇතුළු යුක්රේනයේ බටහිර ආධාරකරුවන් රුසියානු භූමියේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. රැසියාවේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුව ත්‍රස්තවාදී ක්‍රියා සංවිධානය කිරීම, මූල්‍යකරණය කිරීම සහ හැසිරීම පිළිබඳව FSB දැන් විමර්ශනය සිදුකරනවා.







