නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉන්දියාව හා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (GCC) එකඟ වී ඇති බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුස් ගෝයාල් මහතා ප්‍රකාශ කළ බව ‘සවුදි ගැසට්’ වාර්තා කර තිබේ.
මීට වසර 17කට පෙර ඉන්දියාව හා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ඔවුන් අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පවත්වාගෙන යෑමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා ආර්ථික සහයෝගිතා රාමු ගිවිසුමකට අත්සන් කර ඇත. අනතුරුව 2006 හා 2008 වසරවලදී සාකච්ඡා වට දෙකක් පැවැත්වුණු අතර, සියලු රටවල් හා ආර්ථික කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වීම ආර්ථික සංගමය විසින් කල් දමන ලදී.
“අපි ගල්ෆ් කවුන්සිලය හා ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති අතර සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා..” ගල්ෆ් කවුන්සිලයේ මහලේකම් නයෙෆ් ෆලාල් අල් හර්ජ්රාෆ් හා ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවේදී ගෝයාල් පැවසීය.
දෙපාර්ශවයම එක්ව සාකච්ඡා නැවත ආරම්භ කරන දිනය තීරණය කරන බව ද ඔහු පැවසීය.
ඉන්දියාවේ විශාලතම වෙළෙඳ කණ්ඩායම ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය වන අතර මෙම කවුන්සිලයට ගල්ෆ් කලාපයේ රටවල් වන සෞදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, බහරේන් හා ඕමාන් අයත් වේ.