පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 30වැනි තරගය ලෙස අද (30) පර්ත්හි දී පැවති ඉන්දියා – දකුණු අප්‍රිකා තරගයේ දී කඩුළු 05ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් විය.
මෙය ඉන්දියාව තරගාවලියේ ලද මුල්ම පරාජය ය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 133ක් රැස් කළහ. සූර්යකුමාර් යාදෙව් ලකුණු 68ක් ලැබුවේය. ඒ පන්දු 40කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.
අනෙක් පිතිකරුවන් එක් අයෙක්වත් සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉඩ නුදුන්හ. නායක රෝහිත් ෂර්මාගේ ලකුණු 15ත්, විරාට් කෝලිගේ ලකුණු 12ත් හැරුණු විට අනෙක් එක් ඉන්දීය ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැත.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලුන්ගි න්ගිඩි විශිෂ්ට පන්දුයැවීමක නිතර විය. ඔහු ලකුණු 29කට කඩුළු 4ක් බිඳ හෙළුවේය
වයින් පාර්නල් ගේ පන්දු යැවීමත් විශිෂ්ට එකකි. ඔහු පන්දු ඕවර 4 තුළ එක් නිලකුණු පන්දු ඕවරයක් ද සමගින් ලකුණු 15කට කඩුළු 03ක් ලැබීය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළ ඉන්දියානු පන්දු යවන්නෝ තියුණු ලෙස ගොදුරු කරගත්හ.
ආරම්භක පිතිකරුවන් වන ක්වින්ටන් ඩි කොක් ලකුණු 1ට ද නායක ටෙම්බා බවුමා ලකුණු 10කට ද දැවී ගියේය. රිලී රොසසොව් දැවී ගියේ ලකුණු නොලබාය.
එක් අවස්ථාවක දකුණු අප්‍රිකානුවෝ ලකුණු 03ට කඩුළු 2කි. ලකුණු 24ක් වනවිට මුල් කඩුළු 03ම දැවි ගොස්ය.
එහෙත් සිව්වන කඩුල්ල ලෙස පිටියට එන ඒඩ්න් මාක්‍රම් සහ ඩේවිඩ් මිලර් විශිෂ්ට පිතිකරණයක නිරත වූහ. දෙදෙනාම අර්ධ ශතක වාර්තා කළහ. ඔවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධතාවය ලකුණු 77ක් විය. මාක්‍රම් පන්දු 41 දී ලකුනු 52ක් ලැබීය. ඩේවිඩ් මිලර් පන්දු 46ක දී ලකුණු 59ක් ලබමින් නොදැවී තරගය නිමා කළේය.
දකුණු අප්‍රිකානුවෝ ලකුණු 133ක ඉලක්කය පන්දුඕවර 19.4ක දී ඉක්මවා ගියහ.







