දින දෙකක් පුරා තරගය කල් දමමින් කඩින් කඩ නවත්වමින් පැවති ඉන්දු පකිස්ථාන තරගය නිමා වී ඇත.ඉන්දියාව ලකුණු 228ක මහා විසාල ජයග්‍රහණයක් සමගය.
අමතර දිනයක් සහිතව තරග වේලාව වෙනස් කර වැස්ස මගහරිමින් තරගයේ එක් පිලකට ඕවර 50ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට තරග සංවිධායක ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය. මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පකිස්ථානයට ලකුණු 356ක දැවැන්ත ඉලක්කයක් ලබා දි තිබිණි.
ඔවුන් පිටියට පැමිණියේ ලකුණු 357ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේ අභිලාෂය සහිතව. නමුත් ඉන්දීය පන්දු යවන්නෝ තරගය තමන් අතට ගෙන පකිස්ථානු ඉනිම මුල සිටම විනාශ කළහ.
පකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අබාධයට ලක්වීම හේතුවෙන් පන්දුවට පහරදීමට පැමිණීයේ නැත. ඒ නසීම් ෂා සහ හරිස් රවුෆ්ය. ඉතිරි කඩුළු 08 ලකුණු පන්දු ඕවර 32ක් තුළ දී ලකුණු 128කට දවා ගැනිමට ඉන්දීය පිල සමත් විය.
මුල් පෙළ කඩුළු 03 ලකුණු 43ක් තුළදී දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා සහ ෂර්දුල් ඨකූර් සමත් වූ බව සැබෑය. නමුත් පන්දු යැවීමේ දී මහා වික්‍රමයක් කළේ කුල්දීප් යාදේව්ය. ඔහු පන්දු ඕවර 08ක් යවා ලකුණු 25කට පකිස්ථානු කඩුළු 05ක් බිඳ හෙළුවේය.
ඉන්දීය ඉනිම
![](http://lankasara.com/wp-content/uploads/2023/09/367053.jpg)
ඉන්දියාව ක්‍රීඩා කළේ අති විශිෂ්ට ඉනිමකි. පිතිකරණයේ මහේශාඛ්‍ය ආනුභාවය කාසියේ වාසිය දිනා පන්දු රැකීම තේරූ පකිස්ථාන කණ්ඩායමට ඉන්දියාව විසින් පෙන්වා දී තිබිණි. ඔවුන් ලබා දුන්නේ පකිස්ථානයට ලඟාවීම සිහිනයක් සමාන වූ ඉලක්කයකි.
ආරම්භක පිතිකරු යුවල අර්ධ ශතක ලැබූහ. රෝහිත් ශර්මා ලකුණු 56ක් පන්දු 49ක් තුළ ලැබුවේය. ඊට හතරේ පහර හයක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.
ශුබ්මන් ගුල් පන්දු 52ක් තුළ ලකුණු 58ක් ලැබුවේය. ඔහු ලකුණු 40ක් ලැබුවේ හතරේ පහර වලිනි. ඔහු එල්ල කළ හතරේ පහර 10කි.
උත්කර්ෂය වන්නේ ඉන් අනතුරුව පිටියට පැමිණ තරගය නිමා වනතුරු ක්‍රීඩා කළ විරාට් කෝලි සහ කේ.එල් රාහුල් නොදැවී ශතක ලැබීමය.
කෝලි පන්දු 94ක දී නොදැවී ලකුණු 122කි. ඒ චමත්කාරාජනක ඉනිමට හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.
කේ.එල් රාහුල් නොදැවී ලකුණු 111කි. හතරේ පහර 12කි. හයේ පහර 2කි. ඉන්දියාව කඩුලු 02ක් දැවී රැස්කළ ලකුණු ප්‍රමාණය 356කි.
පකිස්ථාන පන්දු යවන්නෝ හොඳටෝම ගුටි කෑහ. ශහීම් ෂා ඇෆ්රිඩි පන්දු ඕවර 10ක දී ලකුණු 79කට කඩුල්ලක්, ෂඩාබ් ඛාන් පන්දු ඕවර 10ක දී ලකුණු 71ට කඩුල්ලක් දවා ගත්තේය.
පකිස්ථාන ප්‍රති උත්තරය
![](http://lankasara.com/wp-content/uploads/2023/09/367066.jpg)
පකිස්ථාන ඉනිම පැවැත්වුනේ කඩින්කඩ වැටෙන වැස්සෙන් බාධා වෙමිනි. ලකුණු 356ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට පිටියට පැමිණි පකිස්ථාන කණ්ඩායම බිහිසුණු අගාධයකට ඇද දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දීය කඩුළු 3ක් ලකුණු 47කට දැවී ගියේය.
ජස්ටිප් බුම්රා ඉමාම් උල් හක් ලකුණු 09ට දවා ගත්තේය. හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් කඩුල්ලු කුඩු කරනවිට නායක බාබර් අසාම් ලබාගෙන තිබුණේ පන්දු 22ක දී ලකුණු 10කි. කඩුළු රකින පකිස්ථානයේ ප්‍රබල පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 02කට ක්‍රිඩා ගාරයට යැවීමට ෂල්දූර් ඨකූර් සමත් විය.
ලකුණු 77ක් වනවිට යම් ස්ථාවරයක් පෙන්වමින් අන්තය ආරක්ෂා කරගත හැකි බවට බලාපොරොත්තු වූ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු 27කට කුල්දීප් යාදේව්ට ගොදුරු විය. එතැන සිට සෑම පිතිකරුවෙක්ම යාදේව්ගේ පහසු ගොදුරු වනු පෙනුණි. ආගා සලමන් ලකුණු 23කට, ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 23කට, ෂබාබ් ඛාන් ලකුණු 06කට, ෆහීම් අෂ්රෆ් ලකුණු 04කට, දවා ගැනීමට කුල්දීප් යාදේව් සමත් විය. පන්දු ඕවර 32ක් තුළ පකිස්ථානය ලකුණු 128කට බිඳ වැටුනේය.
![](http://lankasara.com/wp-content/uploads/2023/09/367080.jpg)
ජයග්‍රහණය ලකුණු 228කිනි. එය පකිස්ථාන ඉන්දියා ක්‍රිකට් ඉතිහාසයේ තරගයකදී මෙතෙක් ඉන්දියාව වැඩිම ලකුණු ගණනකින් ලබා ගත් ජයග්‍රහණය මෙයය. විරාට් කෝලි සිය 77 වැනි අන්තර්ජාතික ශතකය ලබා ගත්තේය.
වැදගත්ම වාර්තාවක් වේ. ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දු – පකිස්ථාන තරගයකදී ප්‍රේක්ෂාගාර මේ තරම් හිස් වූ අවස්ථාවක් වාර්තා නොවීමය.
එහි ප්‍රතිඵල ලෙස ලංකාවේ තරග පැවතුන ද සත්කාරකත්වය දරන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තරගයේ ප්‍රවේශපත් මිල අඩු කළේය.
තව පැය ගණනකින් නැවත වරක් ඉන්දියානු කණ්ඩායම පිටියට බැසීමට නිමිතය. ඒ ශ්‍රී ලංකාව සමග තරග වැදීමටය.